ළමා අනතුරු වැලැක්වීම පිළිබඳ ජාතික වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ළමා අනතුරු වැලැක්වීම පිළිබඳ ජාතික වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

“අනතුරු වළකමු, දරුවන් සුරකිමු” තේමාව යටතේ පෙර පාසල් සහ පාසල් දරුවන් අතර දීපව්‍යාප්ත චිත්‍ර නිර්මාණ තරඟයක් සංවිධානය කර තිබුණි. ඉදිරිපත් කර තිබූ 4500 ක් පමණ වූ චිත්‍ර අතරින් හොඳම 100 ක් ප්‍රදර්ශනය කිරීම සහ ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනතුරු වැලැක්වීම පිළිබඳ ජාතික සතියේ එක අංගයක් වූ මෙම වැඩසටහනේදී පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් විවිධ වයස් කාණ්ඩ වල දරුවන්ගේ අනතුරු වැළක්වීම ඉලක්ක කර ගත් පෝස්ටර සෑම පවුල් සෞඛ්‍ය නිලධාරිනියකටම ලැබීම සඳහා දිස්ත්‍රික් මාතෘ සහ ළමා වෛද්‍ය නිලධාරීන් ට බෙදා දීම ද සිදු කෙරිණි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න ළමා අනතුරු දත්ත සහ එවැනි අනතුරු වළක්වා ගත හැකි ක්‍රමවේද පිළිබඳවද, නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) අජිත් රෝහණ මහතා මාර්ග අනතුරු තේමා කරගෙන ද දේශණ පැවැත්වුහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (මහජන), ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය සහ පෝෂණය අධ්‍යක්ෂක රේණුකා පීරිස්, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග පිලිබඳ අධ්‍යක්ෂක තිලක් සිරිවර්ධන සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නියෝජය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය කල්යානි ගුරුගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය සජිත් එදිරිසිංහ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *