හස්ත කර්මාන්ත ශිල්පීන්ට බැංකුවලින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –පාරම්පරික හස්ත කර්මාන්ත ක‍ෂේත්‍රයේ නිරතව සිටින ශිල්පීන්ට ඔවුන්ගේ කර්මාන්ත දියුණු කර ගැනීම සඳහා මූල්‍ය සහාය ලබා දීමේදී බැංකු ක්ෂේත්‍රය වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා එම ශිල්පීන්ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වෙන අවස්ථාවල ළඟම පිහිටි මහජන බැංකුවේ තාවකාලික ශාඛාවක් එම ස්ථානයේ විවෘත කර මේ කලා ශිල්පීන්ට අවශ්‍ය ණය සහනාධාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන්නේ නම් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව මෙරට සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ශිල්පීන් සවිබලගැන්වීම සඳහා බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ ඊයේ (16) ආරම්භ කළ ‘ශිල්ප Thursday’ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

හස්ත කර්මාන්ත ශිල්පීන් 125දෙනකුගේ අලෙවිසල් මෙම වෙළෙඳ ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබූ අතර, අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කුටි වෙත ගොස් ඒවා පරීක්ෂා කර බැලීම ද සිදුවිය. ‘ශිල්ප Thursday’ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළෙඳ ප්‍රදර්ශනය වසරක කාලයක් පුරා සෑම බ්‍රහස්පතින්දා දිනයක පැවැත්වේ.

එහිදී අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා,

අපේ රජයන් බලයට පත් වන සෑම අවස්ථාවක ම දේශීයත්වයට මුල්තැන ලබා දුන්නා කියන එක මා අමුතුවෙන් කිව යුතු කාරණයක් නෙවෙයි. පසුගිය කාලයේ ආපස්සට ගොස් තිබූ ‍සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත අංශය අපට ආපසු ගොඩනැඟීමට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා. ඒ වගේම, රාජ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳ දක්වන උනන්දුව පිළිබඳ අපි එතුමන්ට ස්තුතිය පුද කළ යුතුයි.

දේශීය හස්ත කර්මාන්ත වඩාත් ප්‍රචලික කරන්න නම් අපි මේ ‍‍නිෂ්පාදන අලෙවි කිරීම වගේම, පාවිච්චි කිරීම ද කළ යුතුව තිබෙනවා. මෙවැනි වෙළෙඳපොළ ක්‍රියාත්මක වීම ඒ සඳහා වැඩි උනන්දුවක් දැක්වීමටත්, ඒවා වඩාත් ප්‍රචලිත වීමටත් හේතු වෙනවා.

මා හිතන්නේ අද විශේෂයෙන් ගමේ ශිල්පීන්ට තිබෙන විශාල ම ප්‍රශ්නය තමයි බැංකු ණයක් ගැනීම. තමන්ගේ කර්මාන්තය දියුණු කරන්න, ඉදිරියට ගෙන යන්න මුදල් අවශ්‍යතාව තිබෙනවා. එසේ නම්, බැංකු මිට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයැයි මා විශ්වාස කරනවා. මහජන බැංකු සභාපතිතුමාත් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. මෙවැනි ප්‍රදර්ශන තිබෙන අවස්ථාවලදී ඔවුන්ගේ ළඟම තිබෙන බැංකුවේ තාවකාලික ශාඛාවක් එම ස්ථානයේ විවෘත කර මේ කලා ශිල්පීන්ට ණය සහනාධාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් එය ඔවුන්ට වඩාත් ප්‍රයෝජනවත් වේවි කියලයි මා විශ්වාස කරන්නේ.

සෑම බ්‍රහස්පතින්දාවක ම මෙවැනි වෙළෙඳ පොළක් විවෘත කිරීමට තීන්දු කිරීම පිළිබඳවත් අපේ ඇමැතිවරුන්ට මා ස්තුතිය පුද කරනවා.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර, මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *