දුර්ලභ නෙළු ශාක විශේෂයක් සොයාගනියි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වර්ෂයේදී මධ්‍යම පළාත තුල සහ 1971 වර්ෂයේදී අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් වාර්ථා වී ඇති බවට පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් සජීවී නිදර්ශක පවතින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව පැවති ශාක විශේෂයක් වේ.

මෙම ශාක විශේෂය මෙරට වෙනත් කිසිඳු ස්ථානයකින් වාර්තා නොවීම නිසා පර්යේෂණ සටහන් තුලට පමණක් සීමා වූ ශාක විශේෂයක් ලෙස හඳුනා ගෙන තිබුනද ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප්‍රදේශයේදී සොයා ගැනීමෙන් පසුව ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන රේණුකා නිලන්ති රාජපක්ෂ මහත්මිය සහ නුවන් චතුරංග ජයවර්ධන මහතා යන පර්යේෂණ කණ්ඩාම විසින් සිදු කල නිරීක්ෂණ මගින් මෙම නෙළු ශාක විශේෂය Strobilanthes rhytisperma බව තහවුරු කරන ලදි.

හෙළ බසින් මෙම ශාක විශේෂය හඳුන්වන නාමයක් තවමත් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන අතර මෙරටට ආවේණික ශාකයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මෙම ශාක විශේෂය සඳහා නොමැති අතර Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් නම්කොට තිබේ. විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේදී ශාක රාජධානියේ Tracheophytes පන්තියට අයත් Lamiales ගෝත්‍රයේ Acanthaceae පවුලට අයත් Strobilanthes ගණයේ S. rhytisperma යන විශේෂයට අයත්වේ.

පොදුවේ නෙළු යන නාමයෙන් හඳුන්වන Strobilanthes ගණයට අයත් විශේෂ 450ක්‌ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඕස්ට්‍රේලියනු කලාපවලින් වාර්තා වී තිබේ. මේ අතරින් ශ්‍රී ලංකාවෙන් විශේෂ 33ක සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් විශේෂ 27ක්‌ ම මෙරටට ආවේනික විශේෂයන් වේ. මෙතෙක් සිදුකළ පර්යේෂණයන් සඳහා සජීවී ශාක නිදර්ශක හමුනොවුනත් අතීතයේදී මෙම ශාක විශේෂය මීට වඩා පුළුල් ව්‍යාප්තියක් දක්වන්නට ඇති බව පර්යේෂකයන් විශ්වාස කරන අතර මෙම නව සොයා ගැනීමත් සමග එම සාක්ෂි තහවුරු කිරීමටද හැකිවී තිබේ. පර්යේෂණ සටහන් අනුව මෙම ශාක විශේෂය වාර්තා වූයේ වසර 50 පමණ පසු බවද සඳහන් කල හැකිය. 2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇත. විවිධ වගාවන් හා මිනිස්‌ වාසය සඳහා භූමිය හෙළි පෙහෙළි කිරීමේ දී මේ ශාක විශේෂයට වාසස්‌ථාන අහිමි වී ඇති අතර ඉදිරියේ දී වනවැස්‌ම සීඝ්‍රයෙන් ක්‌ෂය වීමත් සමග මෙය තවදුරටත් අනතුරට පත් වනු ඇතැයි පර්යේෂකයෝ පුරෝකථනය කරති.

මෙම ශාකය සොයාගත් වනාන්තර පද්ධතියද සිංහරාජය කන්නෙලිය වැනි පහතරට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ වලින් යුත් මානව ජනාවාස අතර පවතින කුඩා වනබිමකි. අතිශය දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැසක් වාසය කරන මෙම කුඩා වනාන්තර පද්ධති පිළිබඳ මෙතෙක් විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර නොමැති අතර එවැනි විධිමත් අධ්‍යයනයක් සිදුකල හැකි නම් මෙතෙක් හඳුනා නොගත් ජීවී විශේෂ රැසක් හඳුනා ගත හැකි වන බවට විශ්වාස කෙරේ. ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 1 =