මසුන් අලෙවිසැල්වල විදුලි බුබුළු භාවිතය ගැන නාරා ආයතනයෙන් පර්යේෂණ

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලික මත්ස්‍ය අලෙවිසැල්වල මෙන්ම මාලු ලෑලි පවත්වාගෙන යන ස්ථානවල අධි වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බුබුළු දල්වා තිබීම මගින්, මසුන් ඉක්මනින් නරක්වීමේ තත්ත්වයක් පවතින බව හෙලිදරව් වි තිබේ.

මෙම කාරණය සම්බන්ධයෙන් වහාම පර්යේෂණයක් පවත්වා ඒ පිළිබද වාර්තාවක් තමන්වෙත ලබා දෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හෙවත් නාරා ආයතනයට උපදෙස් දී ඇත.

අප රටේ ජනතාවගේ පාරිභෝජනය සදහා අලෙවි කරන මසුන් ඉහළ ගුණාත්මකභාවයකින් යුක්තව අලෙවි කිරීම අලෙවිකරුවන්ගේ වගකීමක් බව කී අමාත්‍යවරයා මාලු අලෙවිසැල්වල දල්වා තිබෙන මෙම අධිවෝල්ටීයතාවයෙන් යුත් විදුලි බුබුළු මගින් නිකුත් කරන උෂ්ණත්වය නිසා මාළු ඉක්මනින්ම නරක් වන නමුත්, විදුළි බුබුළුවල දීප්තිය නිසා පාරිභෝගිකයින්හට එම තත්ත්වය අවබෝධ කර ගැනීමට නොහැකි වන බව ද පැවසීය.

එමෙන්ම එම විදුලි බුබුළු වෙනුවට LED විදුළි බුබුළු භාවිතා කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, එම විදුළි බුබුළුවලින් ද යම් බලපෑමක් එල්ලවිය හැකි නම් ඒ පිළිබදව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙසද අමාත්‍යවරයා නාරා ආයතනයට උපදෙස් දී ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබුයේ පෙරේදා ( 02) අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දීය.

දැනට ලංකා ධීවර සංස්ථාවට අයත් අලෙවි සැල්වල සෙල්සියස් අංශක 27ට අඩු උෂ්ණත්වයක් යටතේ ශීතකරණවල මසුන් තැම්පත් කර ඇති නිසා ඒවා නරක් නොවී කල් තබා ගැනීමට හැකි නමුත්. බොහෝ පුද්ගලික අලෙවිසැල්වල ශිතකරණ භාවිතය නොකෙරේ. එමෙන්ම මසුන් නරක් නොවි තබා ගැනීමට නම් සෙල්සියස් අංශක 27ට අඩු උෂ්ණත්ව පරාශයක තැබිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *