ගුවන් යානයක කළබල කළ ශ්‍රී ලාංකිකයාට වසර 10ක සිරදඩුවමක්?

(කොළඹ, ලංකාපුවත්) – බෝම්බයක් ඇති බවට පවසමින් ගුවන් යානයක නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු ශ‍්‍රී ලාංකිකයා එරට අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

චෝදනා දෙකක් යටතේ ඉදිරියේදී ඔහුට නඩු පවරනු ඇති බව නීති විශාරදයින් පවසා තිබේ.

අපරික්ෂාකාරී ලෙස ක‍්‍රියා කරමින් ගුවන් යානයක් අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීම සහ ගුවන් යානයක් විනාශ කරන බවටත් ගුවන් මගීන් මරා දමන බවටත් තර්ජනය කිරීම අදාල චෝදනා වේ.

වයස අවුරුදු 25ක් වන මෙම ශ‍්‍රී ලාංකිකයා ශිෂ්‍ය වීසා මත ඔස්ටේ‍්‍රලියාවට ගොස් සූපවේදී පාඨමාලාවක් හදාරමින් සිටි මනෝද් මාර්ක්ස් නැමැති අයෙකි.

මෙම පුද්ගලයා මනෝ චිකිස්සක මධ්‍යස්ථානයකින් ප‍්‍රතිකාර ද ලබා ගෙන ඇති බවත් ඔහු එයින් පිටව විත් ඇත්තේ අදාල ගුවන් ගමන සිදු කළ දිනයේම බවත් විදෙස් වාර්තාවල සඳහන් වේ.

තර්ජනයට ලක් වූ ගුවන් යානය මැලේසියානු ගුවන් සේවයට අයත් එකක් වන අතර එය ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර දක්වා පියාසර කිරීමට නියමිතව තිබුණි. අදාළ සිද්ධියවන අවස්ථාවේ දී එම යානයේ සිට ඇති මගීන් ගණන 330 දෙනෙකි.

මෙවැනි තර්ජනාත්මක හැසිරීමක් සඳහා චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා පෙලබී ඇත්තේ ඇයිදැයි තවමත් තහවුරු වී නොමැති අතර නගා ඇති චෝදනා තහවුරු වුවහොත් ඔහුට වසර 10ක සිර ඳඩුවමක් නියම වනු ඇති බව නීති විශාරදයන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *