කටාර් අර්බුදය: “අපි වහන්නේ නෑ” – අල් ජසීරා

(කොළඹ, ලංකාපුවත්) – අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසි ලෙසකින්වත් වසා දැමීමට සූදානම් නැති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය අවධාරණය කර ඇත.

ඩෝහා අගනුවර සිට බීබීසී සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා, කටාරයේ පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දමන මෙන් අසල්වැසි රටවල් හතරක් කරන ඉල්ලීම විග්‍රහ කළේ “ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්” වශයෙනි.

මීට සති දෙකකට පමණ ඉහතදී පනවන ලද සම්බාධක ඉවත්කිරීම සඳහා ඉදිරි දින දහය ඇතුළත කොන්දේසි 13 ක් සම්පූර්ණ කළ යුතු බව සවුදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සිකුරාදා කටාරයට දැනුම් දී තිබේ.ඩෝහා නුවර පිහිටි අල් ජසීරා මූලස්ථානය වසා දැමිය යුතු බව එයින් එක් කොන්දේසියකි.

එම කොන්දේසිය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය පළ කළ පළමු ප්‍රතිචාරය මෙය වේ.
“කිසියම් රටක්, රටවල් කිහිපයක් හෝ සංවිධානයක් කරන සියලුම එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා” යැයි පවසන ඔහු, “අනෙක් ජාත්‍යන්තර මාධ්‍ය සහ සංවිධාන එවැනි උත්සාහයන්ට එරෙහි වනු” දැකීමට තමන් කැමති බව ද සඳහන් කරයි.
ප්‍රවෘත්තියක සියලුම පැති වාර්තා කරමින් මානව වර්ගයාට සේවය කිරීම සිය ආයතනයේ අභිලාෂය බව පවසන ඉහ්තිශාම් හිබතුල්ලා, අල් ජසීරා ආයතනය ත්‍රස්තවාදයට අනුබල දෙන බවට එල්ලවන චෝදනාව ද තරයේ බැහැර කරන බව බීබීසී සේවයට පැවසීය.

“CNN සහ BBC වැනි ඕනෑම මාධ්‍ය ආයතනයක් මෙන්ම Al Jazeera ආයතනයේ ද පරමාර්ථය ජනතාවගේ දැවෙන ගැටලු පිළිබඳව වාර්තා කිරීම” බව ඉහ්තිශාම් හිබතුල්ලා වැඩිදුරටත් පැවසීය.

ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් ඉදිරිපත් කරන ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *