සහල් සංචිත ලබා ගන්න රටවල් 03ක් සමඟ සාකච්ඡා

(කොළඹ, ලංකාපුවත්) – දේශීය වෙළෙඳපොළේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ තානාපතිවරුන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවක දීය. මෙම සාකච්ඡාවට ඉන්දුනීසියානු තානාපති ගුස්ටි න්ගුරාත් ආඩියාසා (Gusti Ngurah Ardiyasa), තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් (Chulamanee Chartsuwan), වැඩබලන පාකිස්තානු මහ කොමසාරිස් ආචාර්යය සෆ්රාස් අහමඞ් ඛාන් (Dr. Sarfraz  Ahmad Khan ) යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

මෙහිදී ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් සහල් ආනයනය සඳහා මිල ගණන් තම අමාත්‍යාංශය වෙත ලබා දෙන මෙන් අමාත්‍යවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ආනයනයට නියමිත සහල්, විශේෂඥයින් කණ්ඩායමක් යටතේ පරීක්ෂා කර බලා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි පළමු අදියර යටතේ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *