ලුම්බිණිය සහ කපිලවස්තුපුර සංවර්ධනට ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – ලුම්බිණිය සහ කපිලවස්තුපුර සංවර්ධන කටයුතු සදහා ශ්‍රී ලංකා රජය අමෙරිකා ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම පිළිබඳ නේපාල රජය සමග සාකච්ඡාකර ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කොළොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ඊට සහභාගි වූ ජනතාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර හතලිහක් පිරීම නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහනක් කොලොන්නාව පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානකර තිබුණි.

මේ අතර තම ජීවිතයට පැමිණි බාධක ජය ගැනීම සඳහා බෞද්ධ දර්ශනයෙන් ලද දායකත්වය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර හතලිහක් පිරීම නිමිතකර ගනිමින් විහාරස්ථාන හතලිහක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ යටතේ කොළොන්නාව රජමහා විහාරස්ථානයේ බිතුසිතුවම් ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොලොන්නාව ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා ද එක්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *