රටට හානිවන කිසිවකට අත්සන් තබන්නේ නැහැ – කතානායක

(කොළඹ, ලංකාපුවත්) – රටට හානි කරන ව්‍යවස්ථාවකට තමන් කිසිසේත් අත්සන් තබන්නේ නැති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ව්‍යවස්ථාවක් පිළිබඳ ව විවිධ පාර්ශවයන්ගෙන් විවිධාකාර යෝජනා ඉදිරිපත්ව ඇති නමුත් මේ වන තෙක් කිසිඳු අවසන් කෙටුම්පතක් සකස් කර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මීරිගම කතෝලික දේවස්ථාන (ජපමාල මෑණියන්ගේ දේවස්ථානය) සියවස් පූර්ණය වෙනුවෙන් පැවති සමරු උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ව්‍යවස්ථා සංශෝධනයට අවසන් කෙටුම්පතක් සකස් කොට නොමැති බැවින් පටු කෝණවලින් බලා විවිධ අසමගිකම් පැතිරවීමට උත්සාහ නොකළ යුතු බවද කතානායක ධුරයේ තමන් කටයුතු කරන තෙක් රටට ජනතාවට බුදු දහමට හෝ වෙනත් ආගමකට සුළු හෝ හානියක් වන කිසිදු ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොතබන බව ද කතානායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන ඕනෑම ව්‍යවස්ථාවක් අවසන් වශයෙන් බල ගැන්වෙන්නේ ස්වකීය අත්සනින් බවත් එහිදී ඉතා සුපරීක්ෂාකාරීව සහ වගකීමෙන් කටයුතු කිරීමට මුලු මහත් ජාතියටම තමා ප්‍රතිඥා දෙන බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ව කිසිදු අවසන් කෙටුම්පතක් ඉදිරිපත්ව නැති මේ අවස්ථාවේ කලබල වීම අවශ්‍ය නොවන බව ද හෙතෙම වැඩිදුටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *