පොහොට්ටුවේ පෙති සැලෙයි – ඇමති පාලිත රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) –මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම මැතිවරණ ඉල්ලා කෑ මොර දුන්නත් මැතිවරණයක නාමයෝජනා බාර ගන්නා අවස්ථාව වන විට ඒකාබද්ධ විපක්‍ෂය සුනුවිසුණු වී අවසන් බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. අපේක්‍ෂකයින් අතරත්, පක්‍ෂ අතරත් ඇති වූ මතභේදය ගල් වෙඩිල්ලක් හා සමානව සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ ආණමඩුව, කරුවලගස්වැව, නවගත්තේගම හා පුත්තලම යන ප‍්‍රාදේශිය සභා සඳහා ඉදිරිපත්වන අපේක්‍ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එම කටයුතු සියළු අපේක්‍ෂකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(13) පුත්තලම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය,

අපි විනිවිදභාවයෙන් යුතුවයි වැඩ කරන්නේ. රට ගොඩ නගමින් අවිනීතව පැවැති සමාජය විනීත සමාජයක් බවට පත් කරන්නට පියවර ගත්තා. ඇමතිද මන්ති‍්‍රද ලෙස වර්ග කරමින් වරදට දඩුවම් දෙන්න පියවර ගත්තා. ඒ අය නීතිය හමුවට යොමු කළා. ඒ වගේම ගමටත් විනීත නායකයින් බිහි කළ යුතුයි. කප්පම් ගන්න, බූරු ගසන, කොමිස් ගහන, මැටි කපන මන්ති‍්‍රවරු හදන්න අපි සූදානම් නෑ. යහපත් මන්ති‍්‍රවරු බිහි කිරීමයි අපේ අරමුණ.

එක්සත් ජාතික පක්‍ෂයේ ජයග‍්‍රහණය පිළිබඳ කිසිදු ගැටළුවක් නෑ. අපේ ජයග‍්‍රහණය ස්ථීරයි. මුළු රටම කොළ ධජයක් යටතට ගේන්න පළාත් පාලන මැතිවරණයේදී හැකි වෙනවා.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ආණමඩුව නගරයට පැමිණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්‍ෂයේ සියළු ප‍්‍රචාරක පුවරු ඉවත් කිරීමටද පියවර ගත්හ. මැතිවරණය සාමකාමීව පැවැත්වීම සඳහා ආදර්ශයක් ලබා දෙමින් මැතිවරණ නීතියට ගරු කරමින් මෙම කි‍්‍රයාව සිදු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඔහු එම කටයුත්ත ආරම්භ කළේ පොහොට්ටුවේ පෙති සැලෙයි – එජාපයේ කොළ දිලෙයි යනුවෙන් පවසමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *