(කොළඹ, ලංකාපුවත්) – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසියාකාරව රාජකාරි නොකරන ඇතැම් නිලධාරීන් ගැන තොරතුරු ලැබෙමින් පවතින බවත් ඒ ගැන සොයාබලා අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් විනය පියවර ගැනීමට කටයුතු කරන බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය කියා සිටියේ මෙම ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගම්මාන රැසක මිනිසුන් අසරණවී සිටින බවය.
මෙම නිලධාරීන් ගැන සොයා බලා විෂයභාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සමග සාකච්ඡා කර අදාළ විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
විවිධ දුෂ්කරතා අපහසුතා මධ්‍යයේ වුවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් නිලධාරීන් තම රාජකාරි කටයුතු නිසිපරිදි සිදුකිරීම අගය කරන බවත් ඔවුන්ගේ ගැටළු හා දුෂ්කරතා වෙනුවෙන් ලබාදිය හැකි උපරිම විසදුම් හා සහන ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඔවුන් කරන්නේ නිහඬ සේවයක් මිස තානාන්තර ලබාගන්නා සේවයක් නොවන බව තමා අත්දැකීමෙන් දන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.
වන අලින් ගම්වැදී මිනිසුන්ට සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් ක්ෂණිකව වනජීවී නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව තිබුණත් ඇතැම් නිලධාරීන් ඒ ගැන අවධානය යොමු නොකරන බවත් එවැනි හදිසි තත්වයකදී ඇතැම් නිලධාරීන් තමාටවත් දුරකථනයෙන් සම්බන්ධකරගැනීමට අපහසු බවත් මේ ගැන තමාගේ දැඩි අවධානය යොමු වී තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
විවිධ ප්‍රදේශවලින් වන අලි තර්ජන එල්ලවී ඇති බවට ජනතාව දැනුවත් කිරීම් කරන විට ඒ ගැන කඩිනමින් අවධානය යොමුකිරීම සඳහා වනජීවී නිලධාරීන් දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ කර ගැනීම ඉතා අසීරු වී ඇති බවත් ඇතැම් නිලධාරීන් හිතාමතාම ජංගම දුරකථනයට ප්‍රතිචාර දැක්වීම මඟ හරිනවාද කියා සැකයක් මතුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි. ඇතැම් නිලධාරීන් හිතාමතාම ජංගම දුරකථන ක්‍රියා විරහිත කර ඒ ගැන පසුව විමසූ විට තමා කැළැබද ප්‍රදේශයක සිටි නිසා දුරකථන ක්‍රියා නොකරන බවට කරනු ලබන ප්‍රකාශ ගැනද තොරතුරු ලැබී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරිය පවසයි.
සමහර නිලධාරීන් ඇත්තටම කැළැබද ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නිරතවීම නිසා ජංගම දුරකථන ක්‍රියානොකරන අවස්ථා තිබෙන බවත් එවැනි නිලධාරීන්ට තමා චෝදනා නොකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.
මෙසේ වගකීමෙන් රාජකාරි කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් තමන් සොයාබලන බවද ඊට අමතරව ඒ ගැන සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කර සිටී.