මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය තහනම් – ජනපතිගෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදී පොලිතීන් භාවිතා කිරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

එහිදී පොලිතීන් භාවිතය සිදුවුවහොත් අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

මේ පිළිබඳ ඉදිරියේදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අදාළ පාර්ශ්වයන් දැනුවත් කරන ලෙස ද ජනාධිපතිතුමා මධ්‍යම පරිසර අධිකාරිය වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

කසළ ගැටලුවට විසඳුම් සෙවීම කිසිදු අයුරකින් ප‍්‍රමාද කළ නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ගැටලු ඇත්නම් ඒවා තමා වෙත කඩිනමින් යොමු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

මේ වන විට ආරම්භ කර ඇති කසළ කළමනාකරණ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සියලු පළාත් පාලන ආයතන සඳහා ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේ ප‍්‍රගතිය, කසළ කළමනාකරණ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ ප‍්‍රගතිය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ කි‍්‍රයාකාරි සැලැස්ම පිළිබඳව ද සමාලෝචනයට ලක් කෙරිණි.

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණ කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධ වර්තමාන තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට බදුන් විය.

සායනික අපද්‍රව්‍ය ඇතුළු රෝහල් පද්ධති තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සැකසීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සැකසීම, ඇළ දොළ ගංගාවල අප ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් සකස් කිරීම ආදී කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ෆයිසර් මුස්තාෆා, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *