හිටපු ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්ට සිතාසි

(කොළඹ, ලංකාපුවත්) –වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ලවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩු තුනකට අදාළව සාක්කි දීම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩු තුනක් අද (11) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් පී බී අබේකෝන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලියාපදිංචි කරන ලේඛනය භාරව සිටි නිලධාරියා නම් කර ඇති බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම්වරයා සහ අදාළ නිලධාරියා සාක්ෂියට කැඳවන්න මෙන්ද අල්ලස් කොමිසමේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රණසිංහ බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ලේකම් පී බී අබේකෝන් ට සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අඩංගු ලේඛනය භාරව සිටි නිලධාරියාට අප්‍රේල් මස 06 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *