මැතිවරණ ප්‍රතිඵල එසැනින් ලබාදීමට කටයුතු සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මැතිවරණ ප්‍රතිඵල විකාශන අයිතිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අදාළ ගෙවීම් සිදුකර ලියාපදිංචි වූ විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පමණක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සහතික කරනු ලබන ප්‍රතිඵල ආරක්ෂිත පරිගණක ජාලයක් හරහා එකින් එක එසැනින් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

විද්‍යුත් මාධ්‍ය ආයතන වන රූපවාහිනි මාධ්‍ය, චන්ද්‍රිකා රූපවාහිනී මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍ය, අන්තර්ජාල පුවත්පත්, වෙනත් වෙබ් අඩවි. මුහුණු පොත ( Facebook), වෙනත් සමාජ ජාලා සහ ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවා සපයන ආයතන මේ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් අද (02) ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉටු කරගත යුතු වේ.

වැඩිදුර තොරතුරු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශයෙන් විමසීම් සිදු කළ හැකිය.

මැතිවරණ ප්‍රතිඵල විකාශන අයිතිය ලියාපදිංචි නොවූ විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් ප්‍රතිඵල එකින් එක එසැනින් ප්‍රචාරය කිරීමෙන් වැළකිය සිටිය යුතු අතර එසේ කරනු ලබන ආයතන පිළිබඳ විමසිල්ලෙන් පසුවන අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දන්වා සිටි.

එසේ වුවද සහනයක් වශයෙන් එවැනි මාධ්‍ය ආයතන සඳහා, පළාත් පාලන ආතයන 241හි ඒ ඒ පක්ෂ හා කණ්ඩායම්වලින් තේරීපත් වූ සභිකයන් සංඛ්‍යාව සහිත පළාත් පාලන ආයතනයේ අවසන් ප්‍රතිඵල පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශනයක් ලෙස ප්‍රකාශ කිරීමට, මහජන අවශ්‍යතාවක් ලෙස සලකා අවස්ථාව ලබාදිය හැකි බව ද සභාපතිවරයා දන්වා සිටි.

තව ද විදේශ මාධ්‍ය ආයතන සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් කළ පරිදි විකාශන අයිතිය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති විද්‍යුත් මාධ්‍ය ආයතනවලට වුවද ප්‍රතිඵල පරිගණක ජාල හරහා ලබාදීමේ අවසන් තීරණය කොමිෂන් සභාව සතු වන බව සභාපතිවරයා අවධාරණය කරයි.

සෑම නිල ප්‍රතිඵයක්ම නිසිලෙස නිවැරදිව කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා පෙර සඳහන් කරුණුවල සියලුම මාධ්‍ය ආයතන ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *