කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ පස් දෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ඒ පොලිස් කණ්ඩායම් 8ක් සිදුකළ අඛන්ඩ මෙහෙයුම්වලින් අනතුරුවය. වෙඩි තැබීම සඳහා යොදා ගත් ගිනි අවි ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ(16) සමත් විය.

පසුගිය දොළොස්වනදා රාත්‍රීයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක තුවාල ලැබීය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතා වන අසේල ලක්මාල් බණ්ඩාර නමැත්තා සහ වෙඩි තැබීමට පැමිණි බවට සැකකෙරෙන විසි හතර හැවිරිදි නිවුන් සහෝදරයින් දෙදෙනෙකු ද ඒ අනුව අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

මේ අතර රෝහල්ගතව සිටින කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කතරගම කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය හිනිදුම සුගතවංශ ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *