අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවැත්වුනු එක් දින තරග පහකින් යුත් තරගාවලියේ අවසන් එක්දින තරගය ලකුණු 178කින් ජය ගැනිමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඒ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ ජය 3-2ක් ලෙස දකුණු අප්‍රිකාව හිමිකර ගත්තේය.

ඊයේ(12) දිනයේ දී ආර්. ප්‍රේමදාස පිටියේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 299ක් ලබාගත් අතර අප්‍රිකානුවෝ සියලු දෙනා ඕවර 24.4කදී ලකුණු 121කට දැවීගියහ.

මෙය ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු ගණන ලෙස වාර්තා වූ අතර මෙයට පෙර ආර්. ප්‍රේමදාස පිටියේදී 2013දී දකුණු අප්‍රිකාව ඕවර 31. 5කදී ලකුණු 140කට දැවී ගොස් තිබුණි.

පිට දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමේ නම් දරා සිටියද, ගුග්ලී හා පා දඟ පන්දු යන සම්මිශ්‍රණය ප්‍රදර්ශනය කළ අකිල ධනංජය ලකුණු 29කට කඩුලු 6ක් බිඳ හෙලීමෙන් අමාරුවේ වැටුණ අප්‍රිකානුවන්ට කිසි දිනෙක මේ පරාජය අමතක නොවනු ඇත. තරගයේ වීරයා වූ ධනංජය තම එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ඊයේ සටහන් කළ අතර මෙයට හරියටම වසරකට පෙර පල්ලේකැලේදී ලකුණු 54කට කඩුලු 6ක් බිඳ හෙළීම අකිලගේ හොඳම පන්දු යැවීම ලෙස තිබුණි.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති 125වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වූ අතර ප්‍රේමදාස පිටියේ පැවැති 100 වැනි දිවා – රාත්‍රී තරගය ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *