ඖෂධ මිල තවත් අඩුවෙයි – ඇමති රාජිත

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීම සහ පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, 2019 වර්ෂයේ දී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම තම අරමුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

දින 53 ක් දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඊනියා ආණ්ඩුවේ අගමැතිවරයා අඩු කළ පැණි බීම බද්ද පෙර තිබූ තත්ත්වයට අඩු කරන බවත් ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දුන් බවත් සුව ඇමැතිවරයා අවධාරණය කරයි.

පසුගිය වසර කිහිපය තුළ දී දුම්කොළ භාවිතය අවම කිරීමට මම කටයුතු කළා. තීන්දු තීරණ ක්‍රියාත්මක කළා. තීන්දු තීරණ ලබා ගැනීමේ දී මෙවැනි අභියෝග වලට අපි මුහුණ දුන්නා. පැණි බීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දෙමින් පැණි බීම කර්මාන්තය උඩු යටිකුරු කළා. මනුෂ්‍ය ශරීරයට දිනකට අවශ්‍ය වන්නේ සීනී හැදි 4 යි. නමුත් පැණිබීම හේතුවෙන් ඊට වඩා සීනි හැදි ප්‍රමාණයක් අපි ශරීරයට ඇතුළත් කර ගන්නවා. පැණි බීම නිෂ්පාදනය වෙනසකට ලක් කරමින් සීනි රහිත පැණි බීම නිෂ්පාදනය කළා. ඒමඟින් ජිවිත රැසක් බේරා ගැනීමට හැකි වුණා. දින 53ක දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඊනියා ආණ්ඩුවේ අගමැතිවරයා මෙම පැණිබීම බද්ද විශාල ලෙස අඩු කළා. අපි දන්නවා ඒකට හේතු වුයේ මොකක් ද කියලා. පැණිබීම සමාගම් වලින් ඊනියා අගමැතිවරයා විමසා සිටියා රාජිත සේනාරත්න මහතා පැන වූ බද්දෙන් කොතරම් බදු මුදලක් ඔබලා වසරකට ගෙවනවා ද කියලා. ඔවුන් ප්‍රකාශ කළා රුපියල් බිලියන 4 ක් ගෙවනවා කියලා. එවිට අගමැතිවරයා ප්‍රකාශ කළා මම බද්ද අඩු කරන්නම් රුපියල් බිලියන 4 ක් මට දෙන්න මන්ත්‍රීවරු බිලි බා ගැනීමට කියලා. මටත් තිබුණා සමාගම් සමඟ එකතු වෙලා කෝටි ගණන් හම්බ කරන්න. අපි සියල්ල සිදු කෙළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය යටතේයි. මම අමාත්‍යාංශ ලේකම්වරියගෙන් අද ඉල්ලා සිටිනවා පැණි බීම බද්ද පෙර තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස.‍ මෙම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරීමත් මෙම වසරේ දී සිදු කරනවා. පසුගිය දිනෙක මට වාර්තා වුණා හදවත් සැත්කමක් සඳහා ඇතුළත් කළ රෝගියකුගෙන් ස්ටෙන්ස් ඒකකට ලක්ෂ තුනහමාරක් අරගෙන තිබෙන බව. මම ස්ටෙන්ස් මිල එක්ලක්ෂ පන්දහස දක්වා අඩු කර තිබෙනවා. සේවා ගාස්තු අය කරනවා කියලා අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාගෙන කනවා. සාමාන්‍ය මධ්‍යම පංතිකයින්ට ප්‍රතිකාර ලබාගත හැකි පරිදි පෞද්ගලික රෝහල් මිල නියාමනය කරනවා. එම අභියෝගයටත් මම සුදානම්.

මෙම වසරේ දී ද ඇති ලොකුම අභියෝගය බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

නව වසරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ඊයේ(1) පෙරවරුවේ ආරම්භ කරමින් සෞඛ්‍ය අැමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *