මත් ජාවාරම මඬින්න ශ්‍රී ලංකා-මාලදිවයින් එකඟතාවක්

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින – ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වෙති.

දිවයිනට පැමිණ සිටින මාලදිවයන ජනාධිපති Ibrahim Mohamed Solih මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ(05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී රාජ්‍ය නායකයන් අතර මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළත්, ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මෙහිදී මාලදිවයින ජනාධිපතිවරයා දැඩි පැසසුමට ලක් කෙළේය.

දීර්ඝ කාලීන මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කැර ගැනීමට මෙන් ම වෙළෙඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන සහ නාවුක ක්ෂේත්‍රවලට අදාළ ව දෙරට අතර ඇති කැර ගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ එම ක්ෂේත්‍රවලට අදාළ නව ගිවිසුම් ඇති කැර ගැනීම පිළිබඳව ද මෙහි දී නායකයන් සාකච්ඡා කළහ.

එමෙන් ම දෙරට අතර ඒකාබද්ධ වෙළෙඳ අවස්ථා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලාංකික ආයෝජකයන් රැසක් මාලදිවයිනේ සිය ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙන්ම මෙරට අධ්‍යාපන කටයුතුවල නිරතවන මාලදිවයින සිසුන්ගේ වීසා නිකුත් කිරීම ඇතුළු පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එමෙන් ම දූපත් රාජ්‍යයන් සහ සාර්ක් රටවල් ලෙස කලාපයේ රටවල අභිවෘද්ධිය වෙනුවෙන් එක් ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඞ් සොලිහ් මහතාව , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා උණුසුම් ලෙස පිළි ගත්තේය.

හමුදා උත්තමාචාර ද පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

71 වැනි ජාතික දින සැමරුම් උලෙළේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි අතර ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කෙළේය.

මේ අතර මාලදිවයින ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඞ් සොලිහ් මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිරිනමන ලද විශේෂ දිවා භෝජන සංග්‍රහය ද ඊයේ (5) දහවල් කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත් විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිතුමා සහ එම මැතිණියව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය උණුසුම් ලෙස පිළි ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *