(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ෂම්මි ද සිල්වා මහතා වැඩි ඡන්ද විසිහතකින් ඊයේ (21) තේරී පත්විය.
ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේ පැවැති මෙවර නිලවරණය වෙනුවෙන් පනහකට අධික පොලිස් කණ්ඩායමකගේ ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබිණි. නිලවරණය ජයගැනීමෙන් අනතුරුව ක්‍රිකට් විධායක සභාව පත්කිරීම සිදුකිරීම හිටපු සභාපති තිලංග සුමතිපාලගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි. බලය නොමැති, ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන තනතුරකට තරග නොකළ පුද්ගලයකු විසින් විධායක සභාව පත්කිරීමට මූලිකත්වය ගැනීමට විරෝධය දැක්වීමට කිසිදු පාර්ශ්වයක් කටයුතු නොකිරීම මෙහි ඇති විශේෂත්වයකි.
මහ මැතිවරණයක ස්වරූපයක් ගන්නා ප්‍රධානම ක්‍රීඩා නිලවරණයක් ලෙස සැලකෙන ක්‍රිකට් නිලවරණයේදී තිලංග සුමතිපාල සහය දක්වන පාර්ශ්වය සහ ජයන්ත ධර්මදාස පාර්ශ්වය වශයෙන් ප්‍රධාන පාර්ශ්ව දෙකක් අතර තරගය පැවැත්විණි. නිලවරණ කමිටුව වෙත නාමයෝජනා බාරදීමේදී තිලංග සුමතිපාල පාර්ශ්වය විසින් සභාපති සහ ලේකම් ධූර අපේක්ෂකත්වයට මොහාන් ද සිල්වා, ෂම්මි ද සිල්වා ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබූ අතර ජයන්ත ධර්මදාස පාර්ශ්වය වෙනුවෙන් ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත්වී සිටියහ. ඒ අනුව ලේකම් ධුරයට මොහාන් ද සිල්වා තේරී පත්වූයේ ප්‍රතිවාදී අපේක්ෂකයකු වන නිශාන්ත රණතුංග පහසුවෙන් අභිබවා යමිනි.
උප සභාපති ධුර දෙක වෙනුවෙන් පැවැති තරගයේදී රවීන් වික්‍රමරත්න (82), කේ. මතිවානන් (80) ලබාගනිමින් තේරී පත්වූ අතර ඒ වෙනුවෙන් තරග කළ අර්ජුන රණතුංග හිමිකරගත්තේ ඡන්ද 78ක් පමණි. එහි භාණ්ඩාගාරික ධුරයට ලසන්ත වික්‍රමසිංහ තේරී පත්වූයේ ඊස්ට්මන් නාරංගොඩ පහසුවෙන් පරාජය කරමිනි.
නිලවරණ අභියාචන කමිටුවට ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව මීට පෙර තීරණය කර තිබුණේ නිලවරණයට තරග කිරීම සඳහා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්නට අවස්ථාවක් නොමැති බවයි. කෙසේ වෙතත් එකී තීරණයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකිරීමට මොහාන් ද සිල්වා පාර්ශ්වය කටයුතු කළ අතර එය විභාගයට ගැනීමෙන් අනතුරුව තීරණය කෙරුණේ සභාපති සහ උප ලේකම් ධුරයට හැර සෙසු තනතුරු වෙනුවෙන් මොහාන් ද සිල්වාට සහ රවීන් වික්‍රමරත්නට ඉදිරිපත් වීමේ හැකියාව පවතින බවයි.
ඒ අනුව ඊයේ පැවැති නිලවරණයේදී තිලංග සුමතිපාල පාර්ශ්වය වෙනුවෙන් තිලංග සුමතිපාල සමඟ ෂම්මි ද සිල්වා නිලවරණ භූමියට පැමිණි අතර ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග පාර්ශ්වය එක කණ්ඩායමක් ලෙසින් නිලවරණ ශාලාවට ඇතුළු වූහ. නිලවරණය සාමාන්‍ය පරිදි පැවැත්වෙද්දී එහි සභාපති සටනෙන් ජයන්ත ධර්මදාස පරාජය වීමත් සමඟ නිලවරණ සටන ඒකපාර්ශ්වික විය. ඡන්ද විමසීමේ කටයුතු ඉංගිරිසි භාෂාවේ අකරාදිය පිළිවෙලට ගැනීමට නිලවරණ කමිටුව කටයුතු කර තිබුණේය.