සිරිපා අඩවිය පිරිසිදු කිරීමට ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී පාද අඩවියේ එක්රැස් වන කැළි කසළ ඉවත් කොට පිරිසිදු කිරීමේ වැඩසටහන අඛන්ඩව 07 වන වරටත් සිදු කිරිමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය සදහන් කරයි.

ශ්‍රී පාදස්ථානය දෙස් විදෙස් විවිධ ආගමිකයන් ගේ වන්දනාවට පත්වූ පුදබිමක් මෙන්ම මෙන්ම ජෛව විද්‍යත්මකවද ඉතා ඉහල වටිනාකමක් හිමි කරගත් සුවිශේෂී පරිසර පද්ධතියකි.

ශ්‍රී පාදය ආගමික පුද බිමක් බැවින් අති විශාල පිරිසක් සිරිපා කරුණා කිරීම නිසා අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන ශ්‍රී පාද අභය භූමිය තුල අධික කැලි කසල ප්‍රමාණයක් එකතු වීම ද සිදුවේ. විශේෂයෙන් ජෛව හායනය නොවන ප්ලාස්ටික්, පොලිතීන් වැනි දෑ විශාල ප්‍රමාණයන්ගෙන් වනාන්තරය තුල එක් රැස්වන අතර මේ මගින් එහි ජෛවවිවිධත්වයට සහ පරිසර සංවේදීතාවයට බලපෑම් එල්ල කරයි. සුන්දර ආගමික පරිසරය විනාශ කොට දමයි.

මෙවන් විශාල හානියක් කසල මගින් සිදුවන නමුත් විශාල පිරිසක් දිනපතා පැමිණීමත්, දුෂ්කර කදු මුදුනක කසල එක් රැස් වීමත් සිදු වීමත් නිසා එකතු වන කසල ඉවත් කිරීම අපහසුය.

මෙරට පිළිගත් ජෛව විවිධත්ව අධ්‍යනය සංගමයක් වන ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය (YBA) මෙම කසළ ඉවත් කිරීමේ කාර්ය සඳහා සිය දායකත්වය ගෙන ඇත.

මෙම වැඩසටහන අඛන්ඩව 07 වන වරටත් සිදු කිරිමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිබේ. මාර්තු මස 23 සහ 24 වැනිදා යන දෙදින තුල සංවිධානය කර ඇති මෙම වැඩසටහන මගින් අපද්‍රව්‍ය වලින් තොර සුපිරිසිදු සිරිපා අඩවියක් සහ ජෛව පද්ධතියක් පවත්වා ගැනීමට අමතරව අපද්‍රව්‍ය මගින් සිදුවන විනාශය පිළිබඳව ජනතාව වෙත පණිවුඩයක් ලබා දීමත් ඒ මගින් අනාගත පරපුර සඳහා සිරිපා අඩවිය ආරක්ෂා කිරීමත් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන රත්නපුර – පලාබද්දල මාර්ගය (රජ මාවත) මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය වෙත ප්‍රවේශ වී හැටන් මාර්ගය ඔස්සේ කැළිකසළ ඉවත් කරමින් නිමා කිරීමට නියමිතය.

පසුගිය වසරේදී මෙම වැඩසටහන සඳහා 260කට අධික විවිධ තරාතිරමේ ස්වේච්ඡා සහභාගිකයන් පිරිසක් සහභාගි වූ අතර කිලෝග්‍රෑම් 800 ක පමණ පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් එක් රැස් කොට විධිමත්ව බැහැර කිරීමට හැකියාව ලැබී තිබුණි. මෙවරද මෙම වැඩසටහන සඳහා පරිසර හිතැති ඕනෑම අයෙකුට සහභාගී විය හැකි අතර තනිව හෝ කණ්ඩායම් වශයෙන් වුවද දායක වීමට අවස්ථාව තිබේ. මේ පිළිබඳ අවශ්‍ය සියළු විස්තර facebook.com/ybasrilanka Facebook පිටුවෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *