රළ පහරකට හසුවූ එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනා මරුට

(කොළඹ, ලංකාපුවත්) –කිරින්ද යාල මුහුදේ වෙරළ තීරයේ ඇවිදිමින් සිටියදී මුහුදු සැඩ රළ පහරට හසු වී මිය ගිය පියා සහ දියණියන් දෙදෙනා හැටන් සාත්තුනිවාස පාර පදිංචිකරුවන් බව හැටන් පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ නුවන් ජයසුරිය නැමැති 38හැවිරිදි ව්‍යාපාරිකයකු හා සහාලා ජයසුරිය (06) හා නදීශා ජයසූරිය(04) නැමැති ඔහුගේ දියණියන් දෙදෙනායි.

මිය ගිය නුවන් ජයසුරියගේ බිරියද රළ පහරට මුහුදේ ගසා ගෙන ගොස් ඇති අතර ඇය මේවන විට බරපතළ තත්ත්වයෙන් අම්පාර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නුවරඑළිය ශාඛාවේ නුවන් ජයසූරියගේ බිරිය සේවය කරන බවත් එම බැංකුවේ සුබ සාධන අංශය මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලැබු විනෝද චාරිකාවක් සඳහා මොවුන් සහභාගි වී සිටියදී මේ අනතුරට ලක්ව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී තිබේ.

නුවන් ජයසුරිය බිරිය සහ දරුවන් දෙදෙනා සමඟ ඉකුත් (21) දින අදාළ විනෝද චාරිකාවට සහභාගි වීම සඳහා නිවසින් පිටව ගොස් ඇත. ඔවුන් (23) දින පස්වරුවේ නිවසට පැමිණීමට නියමිතව තිබිණි.

දුරකතනයෙන් තම පුතා 23 දින පෙරවරුවේ කතා කර එදින රාත්‍රියේ යළි නිවසට පැමිණෙන බව දැනුම් දුන් බව මියගිය නුවන් ජයසූරියගේ මව පොලීසියට පවසා ඇත.

රළ පහරට හසුවූ නුවන්ගේ ජයසූරියගේ බිරිය වන හෂිනි ප්‍රේමසූරිය (33) නැමැති අයගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. ඇය දෙබරවැව රෝහලේ සිට අම්පාර රෝහලට මාරුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *