රටට නොගැළපෙන විදෙස් ගිවිසුමකට නිල කාලය තුළ අත්සන් තැබීමට ඉඩ තබන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) –රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

සෝපා, මිලේනියම් චැලේන්ජ් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැළපෙන ඉඩම් පනතක් පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහක් ඇතිව තිබෙන අතර සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවතිය ද රටට හානි වන සහ රට නොගැළපෙන එබඳු කිසිදු ගිවිසුමකට එළැඹීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පෙ‍රේදා (06) පෙරවරුවේ බිබිල මහජන ක්‍රීඩාංගණයේ පැවැති “රට වෙනුවෙන් එකට සිටිමු”. මොනරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්තිය වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට තමා නායකත්වය ගෙන සිටින විට රටේ ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ‍ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවයි. එහි ප්‍රතිඵල තවත් වසර කිහිපයකින් මේ රටේ අහිසංක දරුවන්ට අත්විඳීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කුමන ආකාරයෙන් පෙනී සිටිය ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව අධිකරණයට යන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මුදලට යට වූ පිරිස් බව ද කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රටට සිදුව ඇති විනාශය සුළු කොට තැකිය නොහැකි අතර මත්ද්‍රව්‍ය උවදුර ජාතික ඛේදවාචකයක් දක්වා අද ඔඩුදුවා ඇත්තේ මෙතෙක් රටේ බලයට පත්වූ කිසිදු රජයක් තම දේශපාලන අරමුණු හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සටන අතට නොගත් නිසා බව ද කියා සිටියේය. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමා ගෙන යන ප්‍රබල සටන හේතුවෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවා‍රමේ පැහැදිලි පසුබෑමක් දක්නට ලැබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ පොදු අරමුණු වෙනුවෙන් දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද එකට සිටිය යුතු අතර, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බෙදී වෙන් වුවහොත් සමස්ත ජාතියම විනාශයට පත්වන බවයි.

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙ‍ෙතක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන “රට වෙනුවෙන් එකට සිටිමු”. ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක‍ට අයත් ග්‍රාමනිලධාරී වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රික්කයේ 479,000ක් ජනතාවට ප්‍රතිලාභ රැසක් සලසමිනි. පැවති සමාප්ති වැඩසටහනේදී ද දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් බෙදාදීම ජනාධිපතිතුමාඅතින් සනිටුහන් කෙරිණි.

මේ අතර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ප්‍රතිකාර සහ සායනික සේවාවන් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 36ක වියදමින් වැල්ලවාය මූලික රෝහලේ ඉදිකර ඇති වකුගඩු ඒකකය දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පරිසරය පිළිබඳ වගකීම් සහිත ලියවිල්ල මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ යන මහත්වරුන් ද ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙ‍රේරා, රවින්ද්‍ර සමරසිංහ, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම්, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පොලිස්පති, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *