මිලියන ගණන් වන්දි ඉල්ලා මංගල නඩු මඟට

(කොළඹ, ලංකාපුවත්) –තමන්ට එරෙහිව අභූත චෝදනා කිහිපයක්ම තිනියාවල පාලිත භික්ෂූන් වහන්සේ විසින් එල්ලකොට තිබෙන බවත් ඒ අභූත මඩ ප්‍රහාර කිසිදු වගවිභාගයකින් තොරව ඉතාමත් ද්වේශසහගත ආකාරයෙන් විකාශය කළ රූපවාහිනී නාලිකාවලට හා හඳුනාගත් වෙබ් අඩවි කිහිපයකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

තිනියාවල පාලිත හාමුදුරුවන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් තමන් විසින් සිදු කරන බවත් අදාළ මඩ මෙහෙයුම පිටුපස සිටින දේශපාලනඥයන් කවුරුන්ද යන වග තමන් ඉදිරියේදී හෙළි කරන බවත් හෙතෙම පැවසීය.

“මේ වගේ ඕනෑම කෙනෙකුට ඕනෑම වාචාල කතාවක් කියන්න පුළුවන්. ඒත් එවැනි බොරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු මාධ්‍ය මීට වඩා සැලකිල්ලක් දක්වන්න තිබුණා. මේ කියන කාරණාවලට අදාළ වකවානුවල විෂයභාර ඇමති මමවත් නෙවෙයි. අඩුම තරමින් මේ මාධ්‍ය එවැනි කාරණා ගැනවත් සොයා නොබලා මට එරෙහිව ද්වේශ සහගත ප්‍රචාරයක් ගෙන ගියේ, මම එම මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබාදෙන එක නවත්තලා තියන නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම රූපවාහිනී ආයතන දෙක විසින් ගෙනගිය ජාතිවාදී වෛරී මාධ්‍ය මෙහෙයුම නිසා මම ඒ ආයතන දෙකට දැන්වීම් දෙන්න එපා කියල මගේ යටතේ තියන ආයතනවලට දැනුම් දුන්නා” යැයි අමත්‍යවරයා පැවසීය.

තීනියාවල පාලිත ස්වාමින් වහන්සේගේ අනුහසින් බිලියනපතියකු වීමේ පහසු අවස්ථාවක් තමන්ට උදාවී ඇතැයි පවසන මුදල් අමාත්‍යවරයා පවසන්නේ නිල සංචාරයක් සඳහා විදේශගතව සිට නැවත පැමිණි සැණින් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවය.

මේ අතර මංගල සමරවීර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ඔලුව මහතාද තමාට සිදු කර ඇති අපහාස සම්බන්ධයෙන් නඩුමගට පිවිසීමට සූදානම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *