බංග්ලාදේශය බිංදුවට දමා ශ්‍රී ලංකාව තරග තුනම දිනයි – කුලසේකර වෙනුවෙන් උපහාර

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තෙවැනි දිවා – රාත්‍රී එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 122ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයට එරෙහිව 3-0ක විශිෂ්ට තරගාවලි ජයක් වාර්තා කරති.

මෙම සංචාරයේ පළමු එක්දින තරගයේදී ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගත් අතර මෙයට වසර 2කට පෙර අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ නුවන් කුලසේකරට උපහාර පිණිස ඊයේ තරගය නම්කොට තිබිණි. එහෙයින් එක්දින පිටියෙන් සමුගත් ඔවුන් දෙදෙනාටම විශිෂ්ට සමුදීමක් මෙම තරගාවලියෙන් උදාවුණි. නුවන් කුලසේකරට ගෞරවය පුදකිරීම වෙනුවෙන් ඊයේ තරගය අවසානයේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කළේය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 294ක් ලබාගත් අතර බංග්ලාදේශ පිතිකරුවෝ සියලු දෙනා ඕවර් 36කදී ලකුණු 172කට දැවී ගියහ.

ජයග්‍රහණය හඹාගිය බංග්ලාදේශ මුල් පෙලේ පිතිකරුවන් 4ක් ලකුණු 60කට දැවී ගිය හෙයින් හිස එසැවීම අසීරුවිය. වේග පන්දු යැවූ කසුන් රජිත, දසුන් ශානක හා ළහිරු කුමාර මුල සිටම හොඳ රිද්මයකින් පන්දු යැවීම බංග්ලාදේශයේ පසුබැසීමට හේතුවිය. වෙනදා නැංගුරම්ලා පන්දුවට පහරදුන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 10කට දවා ගැනීමට දසුන් ශානක සමත්වීමත් සමග බංග්ලාදේශ බලාපොරොත්තු බිඳවැටී ගියේය.

එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී හුදකලා සටනක නිරතවූ සෞම්‍ය සාකර් ලකුණු 69ක් ලබා ගත්තද, විශාල ලකුණු ගණනකට යෑම සඳහා සහය පිතිකරුවකු ඔහුට නොලැබුණි. අවසන් කඩුල්ලේ සිටි තායිජුල් ඉස්ලාම් පන්දු 28කදී නොදැවී ලකුණු 39ක් ලබා ගැනීම හැර අනෙක් පිතිකරුවන්ගේ පහරදීම් සැලකිය යුතු මට්ටමක නොවුණි.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී අවසන් ඕවර් 10 තුල ලකුණු 106ක් ලබා ගැනීමට දායකත්වය දෙමින් ඉනිම වර්ණවත් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 87ක් හා දසුන් ශානක වේගවත් ලකුණු 30ක් ලබා ගැනීම නරඹන්නන්ට විශාල උද්දීපනයක් ඇති කළහ.

ඇන්ජලෝ මැතිව්ස් තම එක්දින දිවියේ 40 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර පන්දු 90කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් එල්ල කළේය. ඔහු සමග සිවුවැනි කඩුල්ලට ලකුණු 101ක සම්බන්ධතාවක් ගොඩනැගූ කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් ලබා තම 16වැනි එක්දින අර්ධ ශතකය ඊයේ සටහන් කළේය. කුසල් අලංකාර හයේ පහරක් හා හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේය. දසුන් ශානක පන්දු 14කදී හයේ 2ක් හා හතරේ 2ක් එල්ල කළේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔහු ශ්‍රී ලංකා පිලට එක්කර නොගැනීම පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුකරමිනි.

එක්දින තරග 3කින් සමන්විත දින 10ක කෙටි සංචාරයකදී බංග්ලාදේශය මෙතෙක් අමිහිරි අත්දැකීම් සහිතව නිමාවූ තරග දෙකම පරාජයට පත්ව සිටි හෙයින් මේ තරගයේ ජයග්‍රහණය ඔවුන්ට අත්‍යාවශ්‍යවී තිබිණි. එහෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න දිනාගත් හෙයින් එම සිහිනය තරගය ආරම්භයේදීම තරමක් දුරට බිඳවැටී ගියේය. දෙවැනි එක්දින තරගයේදී අගනා අර්ධ ශතකයක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු ඊයේ දිනයේදී වේග පන්දු යවන සායිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 6කට දැවීයෑමෙන් ආරම්භයේදී ලකුණු වේගය අඩාල විය.

දෙවැනි කඩුල්ලට දිමුත් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 83ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියදී පිටදඟ පන්දු යවන තායිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට එල්ල කළ පහර කඩුලු රකින මුෂ්ෆිකර් අතට පත්වීමෙන් දිමුත් ලකුණු 46කට දැවී ගියේය. ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 2ක් එක් වෙද්දී සාකර් එවූ පන්දුවකට කුසල් ජනිත් දුර්වල පහරක් එල්ල කොට රහ්මාන් අතට උඩ පන්දුවක්දී ලකුණු 42කට ක්‍රීඩාගාරයට පිය මැන්නේය.

මෙම තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ෂෙහාන් ජයසූරිය ලකුණු 13ක්, වනිදු හසරංග නොදැවී ලකුණු 12ක් ලබාගත් අතර බංග්ලාදේශ වේග පන්දු යවන සායිෆුල් ඉස්ලාම් හා සෞම්‍ය සාකර් කඩුලු 3 බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකා පිලට ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග සහ කසුන් රාජිත කැඳවා තිබූ අතර ළහිරු තිරිමාන්න, ඉසුරු උදාන, ධනංජය ද සිල්වා සහ නුවන් ප්‍රදීප් මෙම තරගයට එක්වූයේ නැත. බංග්ලාදේශයේ එනමුල් හක් සහ රුබෙල් හොසේන් ඇතුළත්ව සිටි අතර මොසඩික් හොසේන් සහ මුස්තෆිෂූර් රහමන් ඉවත්කොට තිබිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ බංග්ලාදේශ පිලට එරෙහිව ආර්.ප්‍රේමදාස පිටියේ අවසන් එක්දින තරගයෙන් පසුව උපහාර උත්සවයක් සංවිධාන කර තිබිණ. එහිදී හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චම්පක රාමනායක සුබපැතුම් එක් කරමින් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *