හජ්ජි උත්සවයේ අරමුණ ආගම් සමඟ සමානව දිවි ගෙවන ශික්ෂණයයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූ‍ජෝත්සවය මඟින් ලැබෙනුයේ අන් සියලු ආගමිකයන් සමඟ ද සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයෙකැයි හජ්ජි උත්සව පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

ඉස්ලාම් දහමේ අනිවාර්ය ආගමික වතාවත් අතුරෙහි අවසාන අංගය වනුයේ හජ් වන්දනාව යි. ශුද්ධ ස්ථානයක් වෙත ගමන් කිරීම ‘හජ්’ යන වදනෙහි සිංහල අරුත යි. මේ වනාහි සියලු ඉස්ලාම් බැතිමතුන් සාමයෙන් හා සහෝදරත්වයෙන් බැඳී පවත්වන ලෝක සමුළුව ලෙස ද හැඳින්විය හැකි ය.

කායික මානසික හා ආර්ථික වශයෙන් සවිමත් සෑම පුරුෂයකු හා ස්ත්‍රියක ම ශුද්ධවූ හජ් වතාවන් සිදු කරන මේ මොහොතේ, සියලු ඉස්ලාම් බැතිමතුනට ශුභාශිංසනය කිරීමට ලැබීම මාගේ ඉමහත් ප්‍රසාදයට හේතු වෙයි. විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය, නැමදීම හා හජ් වන්දනාව යන පංචවිධ සාධක පාදක කොට පවත්නා ඉස්ලාම් දහම් , මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ට බන්ධනය විචිත්‍රාකරයෙන් දනවන අවස්ථාව මෙය වේ.

වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයක් ද හජ් උත්සවයෙන් සැපැයේ. ජාතිය හා පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මඟින් ලැබෙනුයේ අන් සියලු ආගමිකයන් සමඟ ද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයෙකැයි මම සිතමි.

ශුද්ධ වූ මක්කා භූමිය කේන්ද්‍ර කොට ගනිමින් මනුෂ්‍යයන් අතර සාදර සමානාත්මතාවේ පණිවිඩය රැගෙන හජ් වන්දනාවෙහි යෙදෙන බැතිමතුන් ඇතුළු මෙරට හා ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල් හා උලෙළක් වේවායි මම හෘදයංගම ව ශුභ ප්‍රාර්ථනය කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *