විදෙස් නායකයන්ගෙන් නව ජනපතිට සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය නායකයන් රැසක් උණුසුම් සුබපැතුම් එක් කර තිබේ. ශ්‍රී ලංකාව නව මාවතකට ගෙන ඒමට මෙම ජයග්‍රහණය හේතුවන බව එම රාජ්‍ය නායකයන් සඳහන් කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත්කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සාර්ථකව පවත්වමින් සිය ජනාධිපතිවරයා තෝරාගත් ශ්‍රී ලංකා ජනතාවට සිය සුභාසිංශන පිරිනමන බවයි. ජනාධිපති ධුරයට තේරී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවද ඇයගේ පණිවිඩයේ සඳහන්වේ.

යහපාලනය , ආර්ථික සංවර්ධනය, මානව හිමිකම්, සංහිදියාව ආදී ක්ෂේත්‍රවලදී මෙම සමීප සම්බන්ධය වඩා තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඇය කියා සිටි. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දැඩිව පෙනී සිටින බවද ඇය පවසයි.

ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක්කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි. කලාපයේ සාමය, සශ්‍රීකත්වය මෙන්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින සහෝදරත්වයේ වැදගත් කමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලාංකීය ජනතාවට විශිෂ්ඨ නායකයකු හිමි වූ බවද නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර ඇත. පාකිස්ථානය කලාපයේ සාමය , ස්ථාවරත්වය සහ සෞභාග්‍ය ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකාවත් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ට්විටර් පණිවිඩයේ දැක්වේ. මේ අතර පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක් කළේය. ශ්‍රී ලංකාවට සුවිශේෂී සාමයක් හා සෞභ්‍යාගයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්වේ.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොලේග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක් කර තිබේ. නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව මාලදිවයින් ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා ඇත. මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහිඩ් මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *