වැලිකඩ බන්ධනාගාරයේ තත්ත්වය සොයා බලන්න කමිටුවක් පත් කරනවා

(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක ඊයේ(10) පස්වරුවේ නිරත වූ අතරතුර වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි එහි රැඳවියන් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු ඊට අවධානය යොමු කරමින් මෙලෙස කමිටුවක් පත්කිරීමට තීරණය කර ති‍බේ.

එළිමහනේ ඇවිදිමින් සිටි රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් සමඟ කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය.

මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාර ගතවූවෝ වෙති.

රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ඔවුහු කියා සිටියහ. වැරදි තොරතුරු මත පදනම් වූ නඩු ගොනු කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගතව ඇතැයි රැඳවියෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කියා සිටියහ.

මේ හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුව ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *