සිරකරුවන් විශේෂ පුනරුත්ථාපන වැඩසටහන කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර පුනරුත්ථාපනයට යොදාගත හැකි සිරකරුවන් විශේෂ පුනරුත්ථාපන වැඩසටහනට එක්කරගන්නා ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නිලධාරීන්ට උපදෙස් දෙයි.

එම විශේෂ පුන්රුත්ථාපන වැඩසටහන සදහා හදුනාගෙන ඇති 400ක පමණ පිරිසක් යොදා ගැනීමට අවශ්‍ය කටයුතු වහා ආරම්භ කරන ලෙසත් එය ඔක්තෝම්බර් 15ට පෙර ආරම්භ කල යුතු බවත් මත්ලෝලීන් පුනරුත්ථාපනය සදහා පත්කල ජාතික කමිටුව හමුවේ අමාත්‍යවරිය පැවසුවාය.

එම කමිටුවේ සැලසුම්, ප්‍රගතිය පිළිබදව විමසා බැලීමට පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේබව සදහන් කලාය.

මත්ලෝලීන් පුනරුත්ථාපනය සදහා මූලෝපායික සැලසුම් සකස් කිරීමට පත්කල ජාතික කමිටුවේ නියමු ව්‍යාපෘතියක් ලෙස මූලික වශයෙන් 400ක පිරිසක් විශේෂ පුනරුත්ථාපනයට යොදාගැනීම සදහා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් සිරගතව සිටින එම රැදවියන්ගේ රස පරීක්ෂක වාර්තා ඔක්තෝම්බර් 12 වන දිනට පෙර අවසන් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරියට, අමාත්‍යවරියට දැනුම් දෙන ලදි.

දැනට ඉඩපහසුකම් පවතින පල්ලන්සේන, පල්ලෙකැලේ සහ බදුල්ල බන්ධනාගාරවල එම රැදවියන්ගේ විශේෂ පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නාය. රස පරීක්ෂක වාර්තා නොමැතිව 8000ක පමණ පිරිසක් රිමාන්ඩ් සිරකරුවන් ලෙස සිටින අතර මෙම වැඩපිළිවෙල අනුව රස පරීක්ෂක වාර්තා කඩිනම් කර ඔවුන්ද මේ සදහා යොදාගැනීමට යෝජිතය. එමගින් බන්ධනාගාර තදබදය යම් පමණකට අඩුකරගත හැකි වනු ඇත.

බන්ධනාගාරගතවූ රැදවියන් සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් සකස් කර ඇති සැලසුම් මූලික වශයෙන් කරුණු 4ක් ඔස්සේ ඉදිරිපත් කර ඇත. ඒ සදහා කඩිනම් සමීක්ෂණය, අනාවරණ පරීක්ෂණය, විද්වත් කමිටුවක් මගින් ඇගයීම හා තක්සේරුකරණය, ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සදහා යොමු කිරීම එම කරුණු 4යි. ඒ අනුව හදුනාගත් 400ක පිරිසක් මෙසේ විශේෂ පුනරුත්ථාපනයට යොදාගැනීමට නියමිතය. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීමට ඉඩ ඇති පාසල් ලමුන්, තරුණ පරපුර ඉන්වළක්වා ගැනීම සදහා මෙම කමිටුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් සිටී.

මෙම කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා අවශ්‍ය වන ඇතැම් නීති සංශෝධන සිදුකිරීමට යෝජනා ඉදිරිපත් කිරීමද කමිටුව මගින් සිදුකෙරෙන අතර ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා විහිදුනු විශේෂ වැඩපිළිවෙලක් කමිටුව මගින් මත්ලෝලින් පුනරුත්ථාපනයට සකස්කර ඇත. අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේ සැලසුම් සාකච්ඡා ඉතා වැදගත්වන නමුදු එය වඩාත් වැදගත් වන්නේ ඒවා ප්‍රායෝගික වූ විට පමණක් බවයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා පොලීසිය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා මානසික විද්‍යාඥයින්ගේ විද්‍යාලය, මධ්‍යසාර සහ ඖෂධ පිළිබද තොරතුරු මධ්‍යස්ථානය යන ආයතනවල නියෝජනයෙන් යුක්තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *