උදාර අපේක්ෂා පෙරදැරිව නව වසර ජය ගනිමු – විපක්ෂ නායක

(කොළඹ, ලංකාපුවත්) –ලබන්නාවූ නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජය ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2021 නව වසර වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අප නව වසරට පිවිසෙන්නේ මෑත කාලීන ලෝකය මුහුණ දුන් බරපතළම ව්‍යසනයට තවමත් නිෂ්චිත විසඳුමක් නොමැති පසුබිමක්‌ තුළය. කොරෝනා ව්‍යසනය අබියස මුළුමහත් ලෝකයම පෙර නොවූ විරූ අරාජිකත්වයකට වැටී සිටින අතර සෞඛ්‍යමය, ආර්ථිකමය, දේශපාලනිකමය සහ සමාජමය සංකීර්ණතා අබියස අවිනිශ්චිත දොරකඩක හිදිමින් නව වසරට පා තබා සිටී.

එහෙත් මානව සංහතියේ මේ දක්වා වූ පරිනාමය වූයේම අප්‍රමාණ අභියෝග හමුවේ නොසැලී ආත්ම විශ්වාසය සහ නොපසුබට ධෛර්යය පරම විශ්වාසය බවට පත් කර ගත් ඉදිරිගාමී මිනිසුන් නිසා බව නොරහසකි.

ලබන්නාවූ නව වසරේ ප්‍රමුඛතම අභියෝගය වන්නේ කොරෝනා නැමැති ලෝක ව්‍යසනය පරාජය කිරීමය.

මේ අභියෝගය ජය ගැන්මට ජාති, ආගම්, කුල මල පමණක් නොව රටවල් ලෙසද බෙදී තනිවීමෙන් කළ නොහැකිය. ඒ වෙනුවට මුළුමහත් ලෝකයම පෙර නොවූවිරූ සංහිඳියාවකින් මෙන්ම සහයෝගිතාවකින් එකට බැදිය යුතුය. ” හරිත නව ගිවිසුම” ඊට ඇති සාධනීයම විසඳුමය.

රටක් ලෙස අපේ මාතෘභූමිය පවා බරපතළ අර්බුද රැසකට මුහුණදී සිටී. එක් අතකින් කොරෝනා ව්‍යසනය මෙන්ම තවත් අතකින් පටු දේශපාලන අරමුණු හේතුකොටගෙන ජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටී.

ලබන්නාවූ නව වසර අධිෂ්ඨානය, මානව දයාව, කැපවීම සහ උදාර අපේක්ෂාවන් පෙරදැරිව ජයගත යුතුව තිබේ. ඒ වෙනුවෙන් සකල ශ්‍රී ලාංකේය ආදරණීය ඔබට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *