පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සදහා මේ වසර තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පේරාදෙණීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඇමතිවරයා ඊයේ (27) මේ බව සදහන් කළේය.

මෙරට පිහිටි උද්භිද උද්‍යාන අතරින් විශාලතම උද්භිද උද්‍යානය වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 460 ක් පමණ උසින් පිහිටා තිබේ. 1371 තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව පිහිටා තිබු භූමිය ලෙස සැලකෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය උද්භිද උද්‍යානයක් බවට පත් කර ඇත්තේ 1821 දීය. ලංකාවේ පළමු “තේ පැළය” සිටුවා ඇත්තේ ද පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළය.

මෙම උද්‍යෘනය ඕකිඩ් විශේෂයක් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. ශාඛ විශේෂයන් 4000කට වඩා එහි තිබේ. බෙහෙත් පැළෑටි, කුළු බඩු ශාඛ, තාල වර්ගයට අයත් ශාඛ මෙම උද්භිද උද්‍යානයේ දක්නට ලැබේ. කොවිඩ් වසංගතයට පෙර දෙස් විදෙස් සංචාරකයන් මිලියන 02ක් පමණ වාර්ෂිකව මෙම උද්භිද උද්‍යානයට පැමිණි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය නිරීක්ෂණ චාරිකාව අතරතුර විදෙස් සංචාරකයන් පැමිණෙන අවස්ථාවල දී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබද විමසුවේය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සදහන් කළේ විදෙස් සංචාරකයන් පැමිණෙන අවස්ථාවේ දී දේශීය සංචාරකයන් සමග ඔවුන් සම්බන්ධවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. යුක්රේනයේ සිට පැමිණි සංචාරක කණ්ඩායම් 02 ක් පසුගිය දිනවල පේරාදේණිය මල්වත්ත නැරඹීමට පැමිණි බව ද ඇය කීවාය.

උද්භිද උද්‍යානය ඉදිරිපිට රථගාලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව පැවසු ඇමතිවරයා මහනුවර නගර සභාව සමග එක්ව එය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි කීවේය. පේරාදෙණිය පමණක් නොව දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන සංවර්ධනය කිරිමේ දී එහි පරිසරයට හානියක් නොවන ආකාරයෙන් සිදු කිරිමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි. දිවයින පුරා පිහිටි උද්භිද උද්‍යාන දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට ද ඇමතිවරයා උද්භිද උද්‍යාන බළධාරීන්ට උපදෙස් දුන්නේය.

උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හරහා මෙරට මල් වගාකරුවන්ට අතදීමේ වැඩපිලිවෙලක් වහා ම ආරම්භ කරන ලෙසත් ඒ සදහා දැනට ක්‍රියාත්මක “සුවහස් මල් ” මල් වගාකරුවන්ගේ ව්‍යාපෘතිය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පුළුල් කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *