විදුලිය නොමැති සෑම දිළිඳු පවුලකටම විදුලි සබඳතාවය නොමිලේ

(කොළඹ, ලංකාපුවත්) – විදුලිය නොමැති සෑම දිළිඳු පවුලකටම විදුලි සබඳතාවය නොමිලේ ලබා දෙන බවත් ජනපති නියමයෙන් අරමුදල් වෙන්කර අවසන් බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, පසුගියදා (06) පෙරවරුවේ පැවති මාතර දිස්ත්‍රික්කය ප්‍රමුඛ දකුණූ පළාත් විදුලිය සම්බන්ධව මාතර දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේදි පැවති රැස්වීමකට සහභාගී වෙමිනි. මෙම රැස්වීමේදී දැනට විදුලි සැපයුමේ තත්ත්වය මෙන්ම ඉදිරියේදී අදාළ සැපයුම ස්ථාවර සහ වර්ධනය කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබදව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,

“අපේ සමාජය නිරන්තරයෙන්ම දකින්නේ අඩුපාඩු පමණයි. ආයතනයක කැපවීම, ඒ තුළින් ලබා ඇති ප්‍රගතිය ඔවුන් දකින්නේ නැහැ. ලංකා විදුලිබල මණ්ඩලයටත් නිරන්තරයෙන් ලැබෙන්නේ ගල්මුල් පමණයි. දරිද්‍රතාවයෙන් යුත් ලක්ෂ 27කට ආසන්න පාරිභෝගික ජනතාව වෙනුවෙන්, රු. 23.00 ක් වැනි මිලකට නිපදවන විදුලිය රු. 3.50 හෝ 5.50 ක් වනි අවම මිලකට ලබාදීමේ සුවිශේෂි කාර්යයේ වටිනාකම සමාජය දකින්නෙ නැහැ. මේ වනවිට සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහනේ අවසාන බාගයටයි අප පැමිණ සිටිනේ. දිස්ත්‍රික්ක වශයෙන් බැලුවොත් මාතර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් දෙලක්ෂ අසූ දෙදහසක් පමණ ප්‍රමාණයක් සිටිනවා. නමුත් තවමත් නිවාස 1607 කට විදුලිය පහසුකම් ලබාගෙන නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව, එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ප්‍රථම, විදුලිය නොමැති එම නිවාස 1607 ටම නොමිලයේ විදුලිය පහසුකම් ලබාදිමට අපි මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *