ටෝකියෝ ඔලිම්පික් උළෙල විදේශිය ප්‍රේක්ෂකයින්ට තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ට සහභාගී වීම තහනම් කර ඇතැයි කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජපානයේ කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත්,ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය මේ වසරට කල් දැමිණ.

ඒ අනූව, ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 23 වැනිදා සිට අගොස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එසේම, පැරා ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ, අගොස්තු 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වායි.

අමෙරිකාව සහ යුරෝපයේ ඇතැම් රටවලට සාපේක්ෂව ජපානයේ කොරෝනා ආසාදිතයන් අඩු වුවද, වෛරස ව්‍යාප්තියේ තෙවැනි රැල්ලකින් ද බලපෑම් එල්ල වීම සැලකිල්ලට ගනිමින් මෙලෙස ඔලිම්පික් උළෙල සඳහා විදේශීය ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම අත්හිටුවීමට සංවිධායක මඩුල්ල තීරණය කර ඇත.

උළෙල ආරම්භයේදී සාම්ප්‍රදායික ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ අවස්ථාවට ද විදේශීය ප්‍රේක්ෂකයන් ඇතුළත් කර නොගැනීමට තීරණය කර තිබේ.

කෙසේ වුවද, මාධ්‍යවේදීන්ට උළෙල ආවරණය සඳහා සාමාන්‍ය පරිදි අවසර හිමිවන බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *