(කොළඹ, ලංකාපුවත්) –වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සදහා මහල් තුනකින් සමන්විතව ඉදි වෙමින් පවතින නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් මේ වන විට කඩිනමින් සිදු කරමින් පවතින අතර එය ලබන වසරේ මුල් මාසය තුළ විවෘත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
රුපියල් මිලියන 428.7 ක මුදලක් මේ සදහා වෙන් කර ඇති අතර නව අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම්වලින් සමන්විතව ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශය ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.
දැනට අධිකරණ කටයුතු සිදු කරනු ලබන වැලිමඩ අධිකරණ සංකීර්ණය 1999 වසරේදී ජනතා අයිතියට පත් කර තිබෙන අතර, ඌව පරණගම, වැලිමඩ, ඇටන්පිටිය ,අඹගස්දෝව, බෝගහ කුඹුර පොලිස් වසම් පහ යටතේ ඇති නඩු හා බණ්ඩාරවෙල පොලිස් වසමේ වංචා විමර්ශන අංශයට අයත් නඩු කටයුතු වැලිමඩ අධිකරණය යටතේ විභාග වෙයි.
මෙම අධිකරණ සංකීර්ණය තුළ දැනට විශාල නඩු ප්‍රමාණයක් විභාග වන බැවින් වර්ථමානයේ නඩු කටයුතු සදහා පැමිණෙන ජනතාවගේ අවශ්‍යතාවයන් සදහා මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයේ රාජකාරී කටයුතු සදහා ද ඉඩ කඩ ප්‍රමාණවත් නොවන තත්වයක පවතියි.
නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට අධිකරණ අමාත්‍යාංශය උපදෙස් දී ඇති අතර මේ හරහා අවම කාලයකින් වැඩි පහසුකම් යටතේ නඩු කටයුතු අවසන් කර ගැනීමේ හැකියාව වැලිමඩ ප්‍රදේශයේ ජනතාවට හිමි වෙයි.