පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ක්‍රියාත්මක පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේ ජාතික උත්සවය ගම්පහ දොම්පේ පහුරුඇළ ගල්වලගොඩ වෙල්යායේදී අද(25)පැවැත්වුණි.

පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් මෙරට තුළ පවති ඉන් කුඹුරු අක්කර 28,000 ක් දිවයිනේ ගොවිජන සේවා බල ප්‍රදේශ 320 කදී, අස්වැද්දීම මේ අනුව ආරම්භ විය.

ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද ඊට එක්ව සිටියහ.

ආහාර සුරක්ෂිතතාවයෙන් පිරි ස්වයංපෝෂිත රටක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ තවත් එක් පියවරක් ලෙස, පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික ක්‍රියාන්විතය, ප්‍රායෝගිකව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරේ.

පුරන් කුඹුරු අක්කරයක් අස්වැද්දීම වෙනුවෙන් රු.25000ක පොළී රහිත ණයක් සහ නව තාක්ෂණය, වල් වැදුණු ඉඩම හෙළිපෙහෙළි කරගෙන සකස් කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ල ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබා දෙයි.

පොහොර නොමිලේ ලබා දෙන අතර, ඇළ වේළි, අමුණු හා ජල මාර්ග සකස් කරදීම ද මේ යටතේ ක්‍රියාත්මකය. මෙරට පවතින පුරන් කුඹුරු ලක්ෂයක ප්‍රමාණය අදියර කිහිපයක් යටතේ සම්පූර්ණයෙන් අස්වැද්දීමට පියවර ගෙන තිබේ. අක්කර 28000ක් වගා කිරීමෙන් අලුතින් මෙරට වී අස්වැන්නට මෙට්‍රික් ටොන් 35000ක වී එකතු කිරීමට අපෙක්ෂා කෙරේ.

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උත්සවයේ අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා

“ දිවයින පුරා පුරන් කුඹුරු අක්කර 28000ක් , අද අස්වද්දනවා. අපේ ඉලක්කය පුරන් කුඹුරු කියන වචනය කෘෂිකර්ම ශබ්දකෝෂයෙන් ඉවත් කිරීම. වසර 40 ක් වගා නොකළ පුරන් කුඹුරු අක්කර 140 ක්, අද ජාතික උත්සවයේදී අස්වද්දන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කය, සියලු වගා කළ හැකි බිම් වගා කරන්න. නිෂ්පාදන ආර්ථිකයක් මේ රටේ හදන්න. සියලු ගොවිජන සේවා බල ප්‍රදේශ ආවරණය කරමින් අපි ප්‍රායෝගිකව මේ වැඩපිළිවෙල කරනවා. කථාවට නෙවෙයි මහ පොළොවේ යථාර්ථයක් කරනවා. අද පුරන් කුඹුරු අස්වැද්දීමේ ඡායාරූපයක් පෙන්නලා කැළෑ කපනවා කියලා පෙන්වයි ද දන්නේ නෑ. ඒ ඡායාරූප පෙන්වලා විහාරමහාදේවි උද්‍යානයේදී උද්ඝෝෂණය කරයිද දන්නෙත් නෑ. එවැනි බොරු මඩ යද්දී අපි මේ රටේ කෘෂිකර්මය නඟා සිටුවීමට වැඩ කරන්නේ. මම දැක්කා ගොවි, සංගම් කොළඹට ඇවිල්ලා , අභියෝග කරනවා කැළෑ කපන තැන් පෙන්වන්න කියලා.

ගමේ ඉන්න ඔවුන් නොදැන කැළෑ කපන්න බෑ. ඔවුන් කියනවා, මේ කරන්නේ බොරු ප්‍රචාර කියලා. මේ රට ආනයනය මත යැපෙන්නේ. කෑම ටික ගේනවා, බීජ ටික ගේනවා, පොහොර ටික ගේනවා. සියලු දේ ගේනවා. අපි තව වසර 3ක් තුළ මේ රටින් ගෙන්වලා යැපෙන ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කරනවා. මේ රටින් පිටරටට යන මහා ධනස් කන්දය අපි අපේ රටේ ගොවියාට ඉතුරු කරලා දෙනවා. 1970 වේ 34%ක් ජාතික ආර්ථිකයට කෘෂිකර්මය දායකත්වය දුන්නා. අද එය 7% අඩුවෙලා තියෙනවා. එදා කෘෂිකර්මයෙන් ජාතික ආර්ථිකයට දීපු හයිය නැවත අපි දෙනවා. ඉස්සර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කළේ කුඹුරු ගොඩ කරන්න ලියුම් අත්සන් කරපු එක . අපි පොරොන්දු වෙනවා අපේ රජය යටතේ කුඹුරු ඉඩම් බිම් අඟලක් ගොඩ කරන්න ඉඩ නොදෙන බව.”

පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උත්සවය ඇමතූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා.

“රටින් ගෙනත් කන සම්ප්‍රදාය, වත්මන් ජනාධිපති හා අගමැති ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි. මේ රටේ ගොවියන් නඟා සිටුවීමයි අපේ ප්‍රතිපත්තිය. ඉතිහාසයේ වැඩිම මුදල කෘෂිකර්මයට වෙන් කළේ ඒ නිසයි. එහි වගකීම මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත්, මමත්, නිලධාරීන් පිරිසත් රට පුරා සංචාරය කරලා නිරීක්ෂණය කරල, කෘෂිකර්මය නඟා සිටුවීමට අවශ්‍ය තින්දු තීරණ 90% ක් අරගෙන අවසන්. අද නිෂ්පාදනය ආරම්භ කරලා අවසන්. අද රටට අවශ්‍ය වී රටේ නිෂ්පාදනයට අපි සමත් වෙලා ඉවරයි. ඒ නිසා රටින් ගෙනත් කන, පිටරට මත යැපෙන, වහල් සම්ප්‍රදායෙන් අපි මිදෙන්න මේ රටේ ජනතාව මනස හදා ගන්න ඕන. ගොවියෝ වෙනුවෙන් කළ යුතු සියල්ල අපි රජයක් ලෙස ලබා දෙනවා. වවන්න, උනන්දු වෙන්න. ගැටළු අපිට කියන්න. නව තාක්ෂණය භාවිත කරන්න කියන එක ගොවීන්ගෙන් අද මම මේ ජාතික උත්සවයේදී ඉල්ලනවා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *