ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව නව සෞඛ්‍යාරක්ෂක වැඩසටහනක් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ කොවිඩ් 19 මර්ධනය කිරීමේ වැඩසටහනට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.5ක මුදලක් පිරිනමන බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මරිස් පෙයින් මැයි මස 21 වැනි දින නිවේදනය කළ බව කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

මෙම ආධාරය පිරිනැමෙන්නේ ඔස්ට්‍රේලියාව විසින් ඉන්දීය සාගර කලාපයේ අසල්වැසි රටවල කොවිඩ් 19 ව්‍යසනයේ බලපෑම අවම කිරීමට ලබාදෙන සහන පැකේජයේම කොටසක් වශයෙනි.

ඉදිරිපෙළ සේවා සපයන්නන් රැක ගැනීමටත්, වර්තමාන සහ අනාගත වසංගත තත්වයනට මුහුණදීම සඳහා සෞඛ්‍ය පද්ධතිය හැකියාව පුළුල් කිරීමට මෙම නව වැඩසටහන ශ්‍රී ලංකා රජයට උපකාරී වනු ඇත. සහයෝගය අත්‍යවශයවන පිරිස් වෙත එම සහය ලැබීම තහවුරු කරනු වස් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමග සමීපව කටයුතු කරනු ඇත.

ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ඩේවිඩ් හොලී ” අපගේ පොදු ඉන්දීය සාගර කලාපය සුරක්ෂිත, ස්ථාවර,සෞභාග්‍යමත් සහ දුෂ්කර අභියෝගයන්ට මුහුණ දියහැකි අන්දමින් පවත්වා ගැනීම ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් 19 තත්වය වටහාගෙන සිටින අප, අසල්වැසි ශ්‍රී ලංකාවට සහයදීමට සුදානමින් සිටින්නෙමු. මෙම නව සහන පැකේජය කොවිඩ් 19 පැතිරීම පාලනය කරගැනීමට මෙන්ම කලාපීය සෞඛ්‍යාරක්ෂාවට ඇතිවන තර්ජන කළමනාකරණයට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු”, යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්ධන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් ( ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787) වන අතර එමගින් සෞඛ්‍යාරක්ෂක, ශ්‍රී ලංකික ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම ආර්ථිකය යලි ගොඩ නැංවීම ආදිය ද ඉලක්ක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *