දකුණු අප්‍රිකාවට පහසු ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ(12) ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. පිළිතුරු ඉනිම අරඹමින් පිටියට පිවිසි ඔවුන් ඕවර 9ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබා සිටියදී වර්ෂාව පතිත වීම නිසා පැය භාගයක කාලයක් අපතේ ගියේය. අනතුරුව නැවත තරගය ආරම්භ වීමෙන් පසු 15 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය තහවුරු විය.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගත් ක්වින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 58ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය අතර, පන්දු 48ක් වැය වූ ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් වර්ණවත් විය. ඒඩින් මාක්‍රම් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි. ඊට පෙර රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 18කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වූයේ වනිඳු හසරංගය. ඒ වෙද්දී රීසා සහ ඩි කොක් අතර පළමු කඩුල්ලට ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි.

ඊයේ තරගයට අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා නොකළ අතර, කොවිඩ් අසාදිතව සිට සුව වීමෙන් පසු යළි කණ්ඩායමට එක් වූ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමඟ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළද, දෙවැනි ඕවරයේදීම චන්දිමාල් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 5කටය.

අනතුරුව කුසල් ජනිත් සමඟ එක් වූ භානුක රාජපක්ෂ ඉනිම පිළිසකර කිරීමට දැඩි උත්සාහයක නිරත විය. සිය අවසන් අන්තර්ජාතික තරග 3දීම බින්දුවට දැවී ගිය මේ විශිෂ්ට පිතිකරු ඊයේ කගීසෝ රබාඩාට දැවැන්ත හයේ පහරක් ද එල්ල කරමින් ලකුණු 20ක් රැස් කළේ පන්දු 13කිනි. ඉන් ලකුණු 18ක්ම ඔහු රැස් කළේ හයේ පහරින් සහ හතරේ පහරවල්වලිනි. එහෙත් ඒඩ්න් මාක්‍රම් පන්දු යැවීමට කැඳවීමත් සමඟ පෙරළා ඔහු අතටම උඩපන්දුවක් දී භානුක දැවී යෑමෙන් පසු තරගයේ පාලනය සියතට ගැනීමට දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නෝ සමත් වූහ.

සාර්ථික පිතිහරඹයක නිරතව සිටි කුසල් ජනිත් 11 වැනි ඕවරයේදී මාක්‍රම්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ලකුණු 30කට දැවී යෑමෙන් පසු දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට බුරුලක් දුන්නේම නැත. පන්දු 25කට මුහුණ දුන් කුසල් ජනිත්ගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 7ම බිඳ වැටුණේ ලකුණු 32ක් ඇතුළතදීය.

පළමු තරගයේදී ලකුණු 48ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූ මාක්‍රම් මේ තරගයේදී පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 3ක් දවාලූයේ විස්සයි20 තරග බිමේ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. දකුණු අප්‍රිකානු සංචාරය පුරා ශ්‍රී ලංකා පිලට දැඩි හිසරදයක් බවට පත්වී සිටින ටාබ්‍රේස් ෂම්සි ද කඩුලු 3ක් දවාලමින් මාක්‍රම්ට නොදෙවැනි අන්දමින් දස්කම් පෑවේය.

ඊයේ තරගයේදී ප්‍රවීන් අබේවික්‍රම විස්සයි20 තරග වරම් දිනා ගැනීම කැපී පෙනුණි. දෙපිල අතර තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය හෙට (14) ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල – 103 (ඕවර 18.1) කුසල් ජනිත් 30, භානුක රාජපක්ෂ 20 (ටාබ්‍රේස් ෂම්සි 20/3, ඒඩ්න් මාක්‍රම් 21/3, බියොන් ෆෝචුන් 12/2)

දකුණු අප්‍රිකා පිල – 105/1 (ඕවර 14.1) ක්වින්ටන් ඩි කොක් නොදැවී 58, ඒඩ්න් මාක්‍රම් නොදැවී 21, රීසා හෙන්ඩිරික්ස් 18 (වනිඳු හසරංග 22/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *