මීළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක්

(ලංකාපුවත් | කොළඹ) – මීළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ගොඩනගන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍යඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (28) කොළඹපෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

මෙම ධාවන පථය දකුණු ආසියාවේ ඉඳි වූ පළමු එකෝ ඇඩ්වෙන්චර් ATV ධාවන පථයයි.

මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVTපැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.

මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් )BRPආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.

කළුගල් කඳු අතරින් විහිදී යන මෙම මාර්ගය සුපිරි ත්‍රාසජනක වින්දනයක් ඕනෑම අයෙකුට ලබාදෙන සහ ලබාගත හැකි සුන්දර ධාවන පථයකි.

උද්‍යානය තුළ පාගමනින් ගොස් සුන්දර පාරිසරික කලාප නැරඹීමට ද හැකි අතර මෙහිදී සත්ත්ව හා ශාක ප්‍රජාවේ හැසිරීම ගැන නිරීක්ෂණය කළ හැකිය. මෙහි ඇති එක් කඳු මුදුනකදී අංශක 360 ම දර්ශනය වන අතර කොළඹ නගරය හා සබරගමු කඳු පන්ති අලංකාර ලෙස දුර සිට නැරඹිය හැකිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සදහා මාවත නිර්මාණය කරන බව අපි විස්වාශ කරනවා.

අපි එල්.පී.එල් තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව. අනෙක් සියලුම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක්‍රීඩා කළේ.

මෙසේ ආරම්භ කළ ගමනට ක්‍රිකට්, පා පන්දු, මළල ක්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100 ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා.

ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් සමග ක්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා.
ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමනේදීජනතාව මේ සදහා නැඹුරුවීමට මෙවැනි ව්‍යාපෘති හා ආයෝජන අපේ ගමනට බොහෝ උපකාරී වනවා‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනසංජීව එදිරිමාන්න, සාගල රත්නායක, සහ කංචන ජයරත්නයන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *