(ලංකාපුවත් | කොළඹ) –අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කර තිබුණ ද අත්‍යවශ්‍යම කරුණක් සඳහා පමණක් පළාත් අතර සංචරණය කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නව කොවිඩ් රැල්ලක් නැවත ඇති වුවහොත් එය ජන සමාජයට බලපෑම් එල්ල කළ හැකි බවද ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කීවේය.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී නිරෝධායන නීතිවලට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කරන ලෙසත් මගීන්ගෙන් සහ එම පොදු ප්‍රවාහන සේවාවල සේවකයන්ගෙන් සහ ඒවා පවත්වාගෙන යන්නන්ගෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියේය. නොවැම්බර් මස 1 වැනි දින සිට 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම මාර්ගෝපදේශ අනුව දෛනික කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පැවැත්වීම වැනි කාරණාවලදී හැකිතාක් මාර්ගගත ක්‍රමයට පවත්වන ලෙස උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නිරෝධායන නීතීන් උල්ලංඝනය කරන පුද්ගලයන් ගැන විශේෂ අවධානය යොමු කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම්ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කීවේය.