මත් ද්‍රව්‍ය සදහා යොමුව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක්

(ලංකාපුවත් | කොළඹ) –පුනරුත්ථාපනය කරනු ලබන මත් ද්‍රව්‍ය සදහා යොමුව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත් මත් ද්‍රව්‍ය සදහා යොමුව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ ජාතිකවැඩ පිළිවෙළක් දියත් කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ දැනට සිදු කරනු ලබන කටයුතු හා එහි ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති අද(17) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

මත් ද්‍රව්‍ය සදහා යොමුව සිටින පුද්ගලයින් හේතුවෙන් සමාජය විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන් පුනරුත්ථාපනය කිරීම සදහා ජාතික වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතුව ඇති අතර, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට සිදු කළ යුතුව ඇත්තේ ඔවුන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම බවත් ආනාගත පරපුර මත් උවදුරින් බේරා ගැනීමට නම් මේ සම්බන්ධව සමාජය පුළුල් වශයෙන් දැනුවත් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් මත් ද්‍රව්‍ය සදහා යොමු වු පුද්ගලයින් පුනරුත්ථාපනය කරමින් රටට ජාතියට වැඩදායී යහපත් පුද්ගලයින් බිහි කිරීමට ගෙන යනු ලබන කාර්යභාරය අගය කරන බවත්, පුනරුත්ථාපනය ලබා සමාජය වෙත යොමු වන පුද්ගලයින් සම්බන්ධව පසුවිපරම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කළ යුතු බවත්, සදහන් කළේය.

මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බන්ධනාගාරගත කිරීම තුළින් ඔවුන් එම තත්වයෙන් මුදවා ගැනීම අපහසු ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේදී පුනරුත්ථාපන සදහා යොමු කරවන සංඛ්‍යාව වැඩි කරවන බවත්, නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඉදි කරමින් ඉදිරි වසර කිහිපය තුළ පුනරුත්ථාපනය සදහා යොමු කරවන සංඛ්‍යාව ක්‍රමයෙන් 8000 ක් දක්වා වැඩි කරවන බවත්, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවු කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සදහා අවධානය යොමුව ඇති බැවින් ඉදිරියේදී නව මධ්‍යස්ථාන ඉදි කිරීමේදී ඒ සදහා ද අවස්ථාව වෙන් කරවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

පුනරුත්ථාපනය ලබන පුද්ගලයින් සමාජ ගත කිරීමේදී ඔවුන්ට විවිධ ආකාරයේ වෘත්තිය රැකියා අවස්ථාවන්හි නිරත වන ආකාරයේ පුහුණු වීම් මේ වන විට ලබා දෙනු ලබන අතර ඉදිරියේදී ඔවුන්ට විදේශ රැකියාවන්හි නිරත විය හැකි ආකාරයට පුහුණුවීම් ලබාදීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම ඉදිරියේදී මත් ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට වන හානිය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම සදහා දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීමට කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන් අතර පුනරුත්ථාපන ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීමට මේ සදහා උනන්දුවක් දක්වන රාජ්‍ය නොවන සංවිධානවල සහාය ද ලබා ගත හැකි බව සදහන් කළේය.

සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා,පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටි ආරච්චි යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කළ අතර, සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමණාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ හා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *