පාර්ලිමේන්තු කටයුතු වාර අවසන් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – නව වන පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැවරී ඇති බලතල වලට අනුව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ලබන ජනවාරි 18 වනදා පෙරවරු 10 ට යළි ආරම්භ කිරීමට නියමිතය.

මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ හා න්‍යාය පත්‍රයට අඩංගු කර තිබූ ප්‍රශ්න සහ පෞද්ගලික මන්ත්‍රී යෝජනා වැනි කටයුතු වාර අවසාන කිරීමත් සමග අහෝසි වන බව මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙන්ම සියලු විශේෂ කාරක සභාද අහෝසි වේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ මැතිවරණ පිළිබඳ සොයා බැලීමේ විශේෂ තේරීම් කාරක සභාව ඇතුලු තේරීම් කාරක සභා පමණක් අහෝසි නොවන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

නව සැසි වාරය ආරම්භ කිරීමෙන් පසු කාරක සභා සඳහා අලුතෙන් සභාපතිවරුන් සහ සාමාජිකයන් නම් කළ යුතුය. ලබන මස 18 වනදා පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භ වීම උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිතය. එහිදී ජනාධිපතිතුමාට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ද හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *