ජනවසම 2020, මිලියන 757ක පාඩුව වසරක් තුළ මිලියන 50ට අඩු වෙයි

(ලංකාපුවත් | කොළඹ) –ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් සියලුම වතුවල කම්කරු පවුල්වලට ඉඩම් කොටසක් ලබා දී නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ආධාර ලබාදීමේ ව්‍යාපෘතිය ලබන අප්‍රේල් වන විට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

යහපාලන සමයේ රුපියල් මිලියන 757ක් පාඩු ලැබු ජනවසම මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බැවින් ලබන අප්‍රේල්වලට පෙර ජනවසම වතුවල පදිංචි කම්කරු පවුල්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ජනවසමට අයත් වතුවල පිහිටි ලියාපදිංචි හින්දු කෝවිල් 79කට රුපියල් 50,000ක් බැගින් රුපියල් මිලියන 4ක ආධාර මුදල් ලබාදීම සඳහා නාවලපිටිය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති රැස්වීමක දී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය. මෙම රැස්වීමට ජනවසම සභාපති බුවනෙක අබේසූරිය මහතා ඇතුළු ජනවසම ඉහළ පෙළේ නිධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

“යහපාලන කාලයේ ⁣ජනවසම වතුවල දෛනිකව තේ දළු කිලෝ ලක්ෂයක් බැගින් නෙලා ගෙන තිබෙනවා. එදා කිලෝව විකුණලා තිබෙන්නේ රුපියල් 65කට යි. අපි ජනවසම බාර ගත්තාම තේ දළු අලෙවි කරන්න ටෙන්ඩර් කැදෙව්වා. ඒ අනුව දැන් තේ දළු කිලෝවට රුපියල් 90ක් ලැබෙනවා. මේ අනුව යහපාලන කාලයේ තේ දළුවලින් විතරක් දවසකට රුපියල් ලක්ෂ 30ක් වංචා කරලා තිබෙනවා. වතුවල ඉඩම්, වතු බංගලා දේශපාලන හිතවත්කම්වලට දීලා තිබුණා. මම ඒ සියලු හොර ගනුදෙනු කැන්සල් කරලා දැන් විනිවිදභාවයෙන් කටයුතු කරලා ජනවසම ලාභ ලබන තත්ත්වයට පත් කරලා ⁣තිබෙනවා” යැයි ද අමාත්‍යවරයා කීවේය.

ජනවසම වතුවල නිවාස සංවර්ධන අධිකාරිය හා වෙනත් අරමුදල් උපයෝගී කරගෙන ඉදිකරමින් පවතින නිවාසවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ජනවසම සභාපති බුවනෙක අබේසූරිය මහතා සඳහන් කළේ 2020 දක්වා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන ජනවසම වැටුප් ගෙවා ඇති නමුත් 2020 සිට මේ දක්වා ජනවසම ආදායමෙන් වැටුප් ගෙවීමට හැකිව ඇති බවය. එමෙන්ම වතු කම්කරුවන්ට දිනකට රුපියල් දාහක වැටුප් ගෙවිමට රජය ගත් තීරණය මුලින්ම ක්‍රියාත්මක කිරීමට ජනවසමට හැකි වූ බව ද සභාපතිවරයා පැවසීය. ජනවසම වතුවල මෙතෙක් චෙක්රෝලේ සිට සිදු වූ සියලු දූෂණ වළකා ගැනීමට පියවර ගැනීම නිසාත්, වතුවල තේ වලට අමතරව අතිරේක ආදායම් මාර්ග හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම නිසාත් ලාභ උපයන තත්ත්වයට වතු සියල්ල කටයුතු කරන බව ද අබේසූරිය මහතා පෙන්වා දුන්නේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *