පොල් පැළ තවාන් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක්

(ලංකාපුවත් | කොළඹ) –වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට පොල් පැළවල හිඟයක් රට තුළ පවතින නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් ලක්ෂ 05ක් බැගින් ලබා දී පොල් පැළ තවාන් ආරම්භ කිරීමටත්, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අදාල චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමටත් සැලසුම් කර ඇතැයිද අමරවීර මහතා කීවේය.

දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ- ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධාන කමිටු රැස්වීම ඊයේ(16) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්වු අවස්ථාවේ ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය.

එම කටයුතු වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයට පමණක් වගකීම බාර නොදී සෑම අමාත්‍යාංශයක්ම තමන්ට ලබා දී ඇති මුදල් උපයෝගී කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ සඳහා සහයෝගය පළ කරන ලෙස මුදල් ඇමැතිවරයා ඉල්ලීමක් කර ඇති බවද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

මෙහිදී පොහොර ගැටළුව, ඉඩම්, වන සංරක්ෂණ හා වනජීවි, වතු සංවර්ධනය හා පුනර්ජනනීය බලශක්තිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

දැනට උද්ගතව පවතින පොහොර ගැටලුව හා කාබනික දියර පොහොර සම්බන්ධව අදහස් පළ කළ රාජ්‍ය , ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, මේ වනවිට කාබනික දියර පොහොර ලීටර් මිලියන 08කට අධික ප්‍රමාණයක් හා කාබනික පොහොර ටොන් ලක්ෂ 03ක් ද ගොවීන් අතර බෙදා දී ඇති බව සඳහන් කළේය. පොහොර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙන්ම සැපයුම අඩාල වීම නිසා ඇතැම් අවස්ථාවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ද පැන නඟින බව මෙහිදී අවධාරණය විය. නමුත් රජය විසින් කාබනික ගොවිතැන සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යන බව ද මෙහිදී අනාවරණය විය.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ දැනට මතුව ඇති ගැටලු සම්බන්ධව රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ එම නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මෙම කාර්ය සාධක බලකායේ සාකච්ඡාවේ දි එකඟතාවය පළ විය.

දේශගුණීක විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ- ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ පත් කර ඇති සියලු අනු කමිටු මේ වනවිට ඉළක්ක ගත අරමුණු සදහා හොඳින් සංවිධානය වෙමින් වැඩ කටයුතු සිදු කර ඇතැයි ද පරිසර ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

එම කාර්ය සාධක බලකායේ සභාපති පරිසර ඇමැති මහින්ද අමරවීර , බලකායේ ලේකම් පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, කනක හේරත් මහත්වරු හා අමාත්‍යං ශ ලේකම්වරු හා නිලධාරිහු පිරිසක් Zoom යෙදවුම ඔස්සේ මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *