(ලංකාපුවත් | කොළඹ) –පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.
විනය හමුදා නිලධාරියකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගය බවත් සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය. සරල කාර්ය කෙරෙහි වූවද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයක් බව පැවැසූ ජනාධිපතිවරයා නායකයකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතු බව කීවේය.
එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයකුගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එකවර පැන නඟින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වූවද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පැවසීය.
උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය. පාඨමාලා කාණ්ඩ 5ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් මෙහිදී විසිර ගියහ. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයට ඇතුළත්ව වසර 2යි මාස 9ක කාලයක් “රණ අධ්‍යයන විද්‍යාවේදී උපාධි පාඨමාලාව” හැදැරූ 73 දෙනකු, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභීන් 150 දෙනකු, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීහු 61දෙනකු, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනියන් 15 දෙනකු සැම්බියාව, මාලදිවයින සහ රුවන්ඩාව රාජ්‍යයන්ගෙන් පැමිණ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් 6දෙනකු හා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය බට නිලධාරීන් 5දෙනකු මේ පිරිසට අයත් වෙති.
ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨාමාලා අංක 17 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය එච්.ඒ.ටී. ප්‍රභාෂ්වරී, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඒ.එම්.ඩී.ටී.එන්. පෙරේරා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලාත සම්මානය ආර්.ටී.එල්.ඒ. සිල්වා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන ගෞරව අසිපත එච්.ඊ.ඒ. රන්ජුල, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා 90 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමිවන ගෞරව අසිපත ටී.ආර්.සී.ඩී. පතිනායක, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඩී.එම්.එම්. රුක්ෂාන් දක්ෂතම විදේශීය කෙඩෙට් නිලධාරී ගෞරව යෂ්ටිය මාලදිවයින් ජාතික ඒ. ආදම් යන අයවලුන් ජනාධිපතිවරයා අතින් සිය සම්මාන ලබා ගත්හ.
සිය සහභාගීත්වය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.