නොරොච්චෝලයට යළි පණ

(ලංකාපුවත් | කොළඹ) – නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටී ඇති ජනන යන්ත්‍ර අලුත්වැඩියා කර විදුලි සැපයුම අද (23) දිනයේ යථා තත්ත්වයට පත් කරලීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ ටර්බයිනයක් ක්‍රියා විරහිත වීම නිසා ඊයේ (22) ප්‍රදේශ කිහිපයක විදුලි බලය ඇන හිටීම සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීවේය. මේ වන විට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කරමින් පවතින අතර, එම නිසා දිවයින පුරා විවිධ ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් කර තිබේ.

මේ අතර කෙරවලපිටිය බලාගාරයේද විදුලි ජනනය යම් පමණකට සීමා වී ඇති බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ජනන යන්ත්‍ර යථා තත්ත්වයට පත් වන තෙක් දිනකට පැය බාගයේ සිට විනාඩි හතළිස් පහ දක්වා කාලයක් විදුලි ඉල්ලුම ඉහළ ධාරිතාවක පවතින රාත්‍රි කාලයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට වන බව ජයවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණක් විදුලිය සපයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *