බූස්ටර් මාත්‍රාව කඩිකමින් ගන්නැයි ඉල්ලීමක්

(ලංකාපුවත් | කොළඹ) – කොවිඩ් වයිරස මර්දනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව දීමේ සාර්ථකත්වය සමඟ දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500ක් දක්වා අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ගැනීමෙන් වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කරගත හැකි බව මේ අනුව පැහැදිලි වන බැවින් බූස්ටර් එන්නත ගැන පැතිරෙන අසත්‍ය ප්‍රචාරයන්ට බිය නොවී කඩිනමින් එන්නත ගන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මීට මාස කිහිපයකට පෙර දිනකට කොවිඩ් ආසාදිතයන් දහසකට අධිකව වාර්තා වූ නමුත් මේ වන විට එය හරි අඩකට අඩු වූයේ කොවිඩ් මර්දන බූස්ටර් එන්නතේ සාර්ථකත්වය මත යැයි ද හෙතෙම කීවේය.

කොරෝනා මර්දන එන්නතේ තුන්වැනි මාත්‍රාව වන බූස්ටර් මාත්‍රාව ගැනීමේ අඩුවක් පවතින බවත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පිරිසෙන් තුනෙන් එකක්වත් මේ වන විට බූස්ටර් මාත්‍රාව ගෙන නැති බවත් ඒ මහතා කීය.

කොරෝනා මර්දන එන්නතක තුන්වැනි මාත්‍රාව ගැනීම වයිරසය පැතිර යෑම වැළැක්වීමට ඇති ප්‍රධානම පියවරක් බවත් වයිරසයෙන් ආරක්ෂා වීමට එන්නත ගැනීම සුදුසුම ක්‍රමවේදයක් බවත් ඒ මහතා පැවසුවේය.

මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් 3,550,824ක් බූස්ටර් එන්නත ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *