‘ජය ශ්‍රී’ ට එරෙහි වාරණය තවදුරටත් දීර්ඝ කරයි

(ලංකාපුවත් | කොළඹ) – ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනකු වන රොහාන් ජයලත් සහ රෝහිත ජයලත්ට එරෙහිව එම කණ්ඩායමේ සාමාජික අරුණ ලියාන් මහතා විසින් ලබා ගත් වාරණ ආඥාව 2022 ජනවාරි මස 12 වන දින දක්වා කොළඹ වානිජ මහාධිකරණ විසින් දීර්ඝ කර ඇත.

කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ඒ. මරික්කාර් මහතා ඉදිරියේ අදාළ වාරණ ආඥාව අද(31) කැදවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.

පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙනි සිටියේය.

රොහාන් ජයලත් සහ රෝහිත ජයලත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලද අතර දෙපාර්ශවයේ ලිඛිත දේශන එදිනට පෙර ගොණු කිරීමට අධිකරණය නියම කළේය.

‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ ගීත රචනය, තනු නිර්මාණය, වාදනය සහ ගායනය සිදු කරන ලද අරුණ ලියාන් මහතා විසින් එකී ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් දෙදෙනාවන රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන අය විසින් සිදු කරන ලද ගීතවල බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව අරුණ ලියාන් මහතා විසින් රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා සිය නීතිඥවරු මඟින් පසුගිය මැයි මස 18වනදා එන්තරවාසි යවා තිබුනි.

අනතුරුව “ජය ශ්‍රී“ සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් දෙසැම්බර් 17වනදා නිකුත් කෙරුණි.

ඒ අනුව ගායක හා වාදක අරුණ ලියාන් මහතා විසින් ගායනය, වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමුඋනේ, සියුමැලි, ශ්‍රිලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුළු ගීත 20 ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මානයක් වශයෙන් ගායනා කරමින් අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීමට අදාළව වාරණ නියෝගය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *