හිටපු ජනපති මෛත්‍රීට ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි රවීගෙන් අභියෝගයක්

(ලංකාපුවත් | කොළඹ) –තමා ළඟද ෆයිල් තිබෙන බැවින් වේදිකාවල පුද්ගල චරිත ඉලක්ක කර අසත්‍ය විවේචන නොකර ප්‍රසිද්ධ විවාදයකට පැමිණ කරන චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක මහතා කීය.

කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඊයේ (11) කරුණානායක මහතා මේ අභියෝගය කළේය.

යහපාලන ආණ්ඩු සමයේ විවිධ මතගැටුම් ඇතිවීමට බලපෑ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනිසි ක්‍රියාකාරකම් සම්බන්ධ කරුණු සියයකට වැඩි ගණනක් කිව හැකි නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු 07ක් සම්බන්ධයෙන් විවාද කිරීමට හැකි නම් පැමිණෙන ලෙස ද කරුණානායක මහතා අභියෝග කළේය.

හොඳ දේවල් සියල්ලේ ගෞරවය ඔහුට ලබා ගනිමින් අතපසුවීම් සියල්ල සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව වෙත ඇඟිල්ල දිගු කරමින් චෝදනා කිරීම ඔහුගේ ⁣ක්‍රමය වී ඇති බවත් තවදුරටත් නිහඬව නොසිට ෆයිල්, සාක්ෂි, සාධක සහිතව විවේචනවලට පිළිතුරු දීමට තමා සූදානම් බව ද හෙතෙම කීය.

තනි දේශපාලන ගමනක් වෙනුවෙන් පුද්ගල චරිතවලට හානි කරමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ඉඩ නොතබන බවත් උපකාර කළ සියලු දෙනාට හානි කරන සුදු ඇඳුම් ඇඳගත් ගුණමකුවකු නොවී දේශපාලනය කරන ලෙස ද ඒ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *