(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත කසළ රඳවනයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා අලි ඇතුන්ට මුහුණපෑමට සිදුව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳව සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිය අවධාණය යොමු කර තිබේ.
ඔස්කාර් සම්මානලාභී නළු ලියනාඩෝ, ඇසෝසියේටඩ් ප්‍රෙස් හි ප්‍රවෘත්ති වාර්තාවක් සිය නිල ට්විටර් ගිණුමේ පළ කර ඇත.
එම වාර්තාවේ දක්වා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දෙන් ප්ලාස්ටික් කුණු කසළ අනුභව කිරීමෙන් ඉකුත් සති අන්තයේ තවත් වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
— Leonardo DiCaprio (@LeoDiCaprio) January 25, 2022
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුළ පිහිටි විවෘත කසළ රඳවනයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා එම කලාපයේ අලි ඇතුන් මිය යන බවට සංරක්ෂණවේදීන් සහ පශු වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ගම්මානයේ කුණු කන්දේ ප්ලාස්ටික් කුණු ආහාරයට ගැනීමෙන් අලි ඇතුන් 20ක් පමණ පසුගිය වසර අට තුළ මිය ගොස් ඇත. මියගිය සතුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් කුණු කන්දේ ඇති දිරාපත් නොවන ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසා ඇත.
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ගෞරවයට පාත්‍ර වන නමුත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. රටේ පළමු අලි සංගණනයට අනුව ඔවුන්ගේ සංඛ්‍යාව 19 වන සියවසේ 14,000 සිට 2011 වන විට 6,000 දක්වා අඩු වී ඇත.