සංචාරකයන්ගේ පැමිණීම මසකදී 75,000ත් ඉක්මවලා

(ලංකාපුවත් | කොළඹ) – මේ වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවා තිබේ.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මස 01 වැනිදා සිට 29 වැනිදා දක්වා සංචාරකයන් 76,538 දෙනකු පැමීණ ඇති බවයි. මේ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් 12,368 දෙනකුම පැමිණ ඇත්තේ රුසියානු සමුහාණ්ඩුවෙනි.

ඉන්දියාවෙන් 11,028 දෙනකු පැමිණ ඇති අතර යුක්රේනයෙන් 7,427 දෙනකු මෙරටට පැමිණ තිබේ. එම දින 29 තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6,929 දෙනකු පැමිණ ඇති අතර ජර්මනියෙන් 4,902 ක්, ප්‍රංශයෙන් 3,337 මෙරටට පැමිණ තිබේ.

මීට අමතරව පෝලන්තය, ඔස්ට්‍රේලියාව, මාලදිවයින හා කසකස්ථානය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත්ම වාර්තා සඳහන් කරයි. පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495කි. එම වසරේ ජනවාරි මාසයේ දි ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682ක් පමණයි.

ලක්ෂ 11කට වැඩි සංචාරකයන් මේ වසරේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය වැඩි කරගැනීම සඳහා රජය කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *