ලිත් නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

(ලංකාපුවත් | කොළඹ) –දිවිනැඟුම ගොවි ලිත මුද්‍රණය කිරීමෙන් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (01) නියෝග කළේය.

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව 2015 වර්ෂය සඳහා දිවිනැඟුම ගොවි ලිත මුද්‍රණය කිරීමේ කටයුතු රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් නීත්‍යනුකූල ක්‍රියාදාමය යටතේ සිදු කර ඇති බව සාක්ෂි මඟින් තහවුරුව ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විනිසුරුවරයා විත්තිවාචකයක් (විත්තියේ සාක්ෂි) කැඳවීමකින් තොරව පැමිණිල්ලේ සාක්ෂි මත පමණක් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව සඳහන් කළේය.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මේ තීන්දුව නිකුත් කළේය. වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මහතා සහ කිත්සිරි රණවක යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ලිත් මුද්‍රණය සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදු කර ඇති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි මඟින් සිදු වූයේ පැමිණිල්ලේ චෝදනා තහවුරු කිරීම නොව චෝදනා බැහැර කිරීම බව වැඩිදුරටත් සඳහන් කළේය.

ගොවි ලිත් මුද්‍රණය කිරීම 2011 වසරේ සිට සිදු කර ඇති ක්‍රියාදාමයක් බවට සාක්ෂි මඟින් තහවුරු වන බව පෙන්වා දුන් විනිසුරුවරයා 2015 වසරේ ද එම අරමුණු ඉටු කර ගැනීමට ලිත් මුද්‍රණය කර ඇති බවත් ලිත් මුද්‍රණයට කළ ගෙවීම් කටයුතු නිසි පරිදි කර ඇති බවට තහවුරු වන බවත් පෙන්වා දුන්නේය.

අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙසත් අධිකරණය භාරයේ තැන්පත් කර ඇති විත්තිකරුවන්ගේ ඇප මදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය ආසන්නයේ ඡන්ද දායකයන් පෙලඹවීමේ අරමුණින් දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැය කර එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම මඟින් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරන ලදි. ඉකුත් යහපාලන සමයේ පැවරූ මේ නඩුව ප්‍රකාරව විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා සහ විත්තිකාර රණවක යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් ද සිදු වූයේය. විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මීට සමගාමී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් තවත් නඩු කීපයක් මහාධිකරණයේ පවරා තිබූ අතර එම නඩුවලින් විත්තිකරුවන් විත්තිවාචකය කැඳවීමකින් තොරව මහාධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර ඇති බැවින් මේ නඩුවෙන් ද විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු නීතිපතිවරයාට ඉල්ලීමක් කර තිබිණි. එහෙත් නීතිපතිවරයා මේ නඩුවේ සාක්ෂි කීපයක් කැඳවීමට තීරණය කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

පැමිණිල්ලේ සාක්ෂි එකක් දෙකක් නොව සාක්ෂි සියල්ල කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම සාක්ෂි කැඳවීමට විත්තියේ නීතිඥවරුන්ගේ සහාය දෙන ලෙස ද දන්වා සිටියේය.

මේ අනුව බැසිල් රාජපක්ෂ මහතාට හා කිත්සිරි රණවක මහතාට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් කීප දෙනෙක් කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.

2015ට පෙර පැවති රජයන් ගොවි ලිත් මුද්‍රණය කිරීමේදී හිටපු අගමැතිවරුන්ගේ පමණක් නොව විෂය භාර අමාත්‍යවරුන්ගේ රුව යොදාගෙන ගොවි ලිත් මුද්‍රණය කර ඇති බව සාක්ෂිකරුවන් එම ලිත් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චම්පික දිනේෂ් කළුආරච්චි මහතා ඇතුළු සාක්ෂිකරුවන් පස් දෙනෙක් ඒ අනුව කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.

දිවිනැඟුම ලිත් මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ආයතන සඳහා 2013 වසරේ අයවැයෙන් වෙන් කර තිබූ මුදලින් ගත් බවත්, ලිත් මුද්‍රණය, මුද්‍රණ කටයුත්තක් බැවින් පුනරාවර්තන වියදම් ඒ සඳහා යෙදවූ බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) මහේෂ් පෙරේරා මහතා සාක්ෂි දෙමින් පැවසීය.

දිවිනැඟුම ලිත් මුද්‍රණය කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළේ යැයි සඳහන් කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා දිවිනැඟුම හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහිව පැවරූ නඩුවේ සාක්ෂි දුන් රජයේ නිලධාරීන් තවදුරටත් පැවසුවේ ලිත් මුද්‍රණය අදාළ අංශවල අනුමැතියෙන් යුතුව සිදු කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *